Categories
අවමවාදී පවුල මූල්‍ය කළමනාකරණය

පවුලේ ආර්ථිකය එක් අයෙක් මත පැටවීම ප්‍රායෝගිකද ?

අවශ්‍යතා ඉතාම සීමිත කාලයේ අපි ඒකට සැලසුමක් හදලා අවස්ථාවන් වැඩිපුර ඇත්තේ ඔහුට නිසා පවුලේ ආර්ථික කටයුතු ඔහු පවරාගෙන ,
මම එයින් ඉවත් වෙලා ඒ කාලයේ වඩාත් වැදගත්ම දෙය විදියට දරුවන් දෙන්නා එක්ක පූර්ණ කාලීනව රැඳෙමින් අපේ අනෙකුත් දේවල් සංවිධානය කරගැනීම මූලික අරමුණ කරගත්තා.

මේ දේවල් අපි තීරණය කලේ විවාහයට කලින්.

ඒ වගේම අපිට ඒ වෙනකොට දැරිය නොහැකි ණය බරවල් තිබුණේ නැති නිසා අපේ ආදායම එක්ක වියදම් කළමනාකරණය කිරීම ගැටලුකාරී වුණේ නැහැ.

ඔහුගේ රැකියාව සහ පශ්චාත් උපාධි පුහුණුව එක්ක හතරදෙනාම එකට පවුල් ඒකකයක් විදියට වාසය කිරීම මූලික කරගෙන
සමාජයීය , චිත්තවේගීය වගේම මනා කායික සෞඛ්‍ය පවත්වාගැනීම වෙනුවෙන් දරුවන් එක්ක දෙමාපියන් වැඩි කාලයක් එක්ව සිටීම වැදගත්කම සලකා අපි සියලුම දේ සංවිධානය කලා.

සමහරවිට ඔයාලා දන්නවා ඇති , දරුවන් ඉපදුණු කාලයේ සිට මුල් අවුරුදු කිහිපය ඔවුන් එක්ක නිතරම ගැවසෙන අයගේ සෞඛ්‍ය , මානසික මට්ටම , කතාබහ විලාශයන් ආදිය කුඩාම දරුවන්ට ඉතාම තදින් බලපාන බව.

වෘත්තීයමය අතින් ඔහු සෑහෙන්න කාර්‍යබහුල සමයක් වුණත් හැමදාම , දරුවන් එක්ක කාලය ගෙවන්න අමතක කලේ නැහැ . වැඩිපුරම දුවත් පුතාත් රෑට නිදිකරවන්නේ ඔහු.
අතරමැද්දේ ඔවුන් ඇහැරුණත් මට විවේකය දීලා දරුවන් නිදි කිරීම ඔහු භාරගෙන තිබුණා.

මට දවල් කාලයේ අවශ්‍ය විවේකය සහ නිදහසේ තනියම ඇවිදලා එන්න මගේ වැඩක් කරගන්න අවශ්‍ය කාලය ලබාදෙන්න ත් ඔහු අමතක කලේ නැහැ. ඔහු නිවසේ සිටිනා දවසකට හෝ කලින් නිවසට එනවා නම් මාව නිදහසේ තියන එක සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වුණා.

පවුලක් විදියට එක්ව අභියෝග වලට මුහුණ දීම සහ ජයගැනීම කියන දේත් ,
දරුවන්ගේ මුල් අවුරුදු හත හට කියන සුවිශේෂී කාලය අමිහිරි මතක සහ එපාවීම් වලින් තොරව නිදහසේ ස්වාධීනව වැඩෙන්න උපකාර කරවන කාලයක් විදියට හොඳ ළමා කාලයක් දෙන එක අපේ වගකීමක් විදියට සලකා කොතැන වුණත් එක්ව විසීම තහවුරු කරගෙන තමයි අනික් සෑමදෙයටම ඉඩ වෙන් කලේ.

පවුලක් කියන්නේ එක පොදු අරමුණු එක්ක එකිනෙකාගේ පුද්ගලික අරමුණු වලටත් උදව් කරගෙන යන ගමනක් !

අපිට යම් යම් දළ සැලසුම් තිබුණා.

අපි මේ මේ කාල වල මේ දේවල් ළඟා කරගන්න ඕනෑ යැයි සැලසුම් කලා.

කොවිඩ් සමය එක්ක යම් ක්‍රියාත්මක කිරීම් වලට කාලය ගන්නට සිදු වුණත් ඉන්පස්සේ වඩාත් හොඳම තීරණ වලට එන්නට අපිට හැකිවීම සතුටක්.

ඒ නිසාමයි ඔහුගේ පශ්චාත් උපාධි පුහුණුවේ අවසන් කොටස වෙනුවෙන් මුලින් අපි වෙනත් රටක් අරමුණු කරගෙන හිටියා වුණත් නැවත ඔස්ට්‍රේලියාවට හිත යොමු වුණේ.

අද වෙනකොට අපේ කටයුතු ඉතාම පහසුවෙන් කරගෙන යන්න කලකට ඉහත අපි වෙනස් වූ තැන් , ගත් තීරණ සහ අවමවාදී ජීවනරටාව හේතු වූ බව පැහැදිලි දෙයක්.

ආයෙමත් ලියන්නම් !