Categories
අවමවාදී පවුල

දරුවන් එක්ක ගෙවෙන ලස්සන දවස් ..

නංගී ඊයේ සහතිකය සහ තෑගි ගන්න ගිය වෙලාවේ ඔයාට මොකද හිතුණේ.. ?


Happy or jealousy Or angry or sad ?

මම පුතාගෙන් තනියම ඉන්න වෙලාවක් බලලා හෙමීට ඇහුවා.

I was very happy and big clapped! පුතා කීවේ එහෙමයි.

මම පුතගෙ ඔලුව අතගලා සතුට ප්‍රකාශ කලා.

“ඔයාලා දෙන්නම එක එක ඒවාට දක්ෂයි. මතකයි නේද ඔයා හොඳම සොකර් ප්ලේයර් වුණ වෙලාවේ නංගී ග්‍රවුන්ඩ් එකට පැනලා නටපු සතුට !

ඔයාලා දෙන්නම එහෙම තමයි ලොකු වෙන්න ඕන .

එක එක්කෙනාගෙ දිනුම වගේම පැරදුම එක්ක සහයෝගෙන්. අපි නැති කාලෙටත් ඔයාලා දෙන්නා අතර තියෙන්න ඕන පුංචි කාලේ වගේම එකමුතුවක් .”

ඔය වගේ අවස්‍ථා ආවම දෙන්නා එක්කම මම වෙන වෙනම කතා කරනවා.

දරුවන් වැඩිපුර bully වෙන්නෙ ගෙදරින් ! ඒක මඟ අරින්න අපි දැනගන්න ඕන.

මට මතකයි ඉස්සර මගෙ මිතුරියක් එයාගෙ අයියයි මල්ලියි එක්ක තරහයි . ඒකට බලපෑවේ එයාගෙ අම්මා තාත්ත දරුවන්ට කල ලොකුම බලපෑම . එයා ඒ ගැන නිතරම කියා තියෙනවා.
තනියම හැදෙන දරුවෙක් වුණත් සහකම්පනය නැත්නම් සමාජයට ගියාම අවුලක් !
ඒ වුණත් මේවා අමාරු දේවල් නෙවේ. අවබෝධය තමයි වැදගත් .
Comprehensive parenting !

අද සෙනසුරාදා . අපිට ඉතින් ටියුෂන් පන්ති පස්සෙ දුවන්න නැහැනේ.
ගිය සෙනසුරාදා පුතාගේ කැමැත්තට ලේක් පාර්ක් එකේ හොඳට සෙල්ලම් කරලා ආවා.
එදා අපිට යන්න වෙලාව මදි වූ නිසා, අද පුස්තකාලයට යන්න ඕනෑ කියලා එදාම දුව මාව පොරොන්දු කර ගත්තා .

පුස්තකාලයේ පැය කීපයක් ගත කරලා හැමෝම ආසා දේවල් කන්න බොන්න අරන් දීලා දවසේ වරුවක්ම එළියේ ගෙවලා ගෙදර ආවා.
නිවාඩු දවසට දරුවන්ගේ තිර කාලය ( screen time ) අවම කරන්නට කල හැකි දේ බොහෝමයි.
ඒ අතර පුස්තකාලය සහ පාර්ක් එක කියන්නේ වඩාත් හොඳ තැනක් .

Categories
Sinhala Categories අවමවාදී පවුල

මේ ජීවිතය ඇත්තේ විඳින්නටයි

කොයිතරම් කාර්‍යබහුල වෙලා තමන්ගේ පවුල මඟ ඇරෙන හස්බන්ඩ් , වයිෆ් මඟ ඇරෙන අය සමහරවිට ගෙදර කෙනෙක් ගෙ පාටියකදී විතරක් මුණගැහෙනවා වෙන්න පුළුවන් !

උදේ පාන්දරම ගෙදරින් ගියාම මහා රෑ ආවම මේසෙට බෙදපු බත් එක කාලා ආයම උදේම ගෙදරින් යන අය ඇති.


සෙනසුරාදා ඉරිදා වුණත් ගෙදර බඩු ගේන්න , ළමයි අමතර පන්ති එක්ක යන්න වගේ වැඩ එක්ක කාර්‍ය්බහුල වෙන අය ඇති .

අම්මා හෝ තාත්තා පමණක් දරුවන් එක්ක අනික් කෙනා විදෙස්ගත වෙලා නම් දීර්ගකාලීනව ඒක පුරුද්දක් කරගත් අයත් ඉන්නවා. සමහර අයට මුදල් අංක එක වුණාම පවුල අමතකයි.

“යනව නම් යන තැනක ඔක්කොම එකට ” මට මතකයි ඉස්සර මාමා කෙනෙක් ඔය කතාව කියනවා. ඒක ඇත්ත . පවුලක් නම් දුක සැප එක්ව බෙදාගන්න ඕන !

සමහර සම්බන්ධතා තියෙනවා , අඳුරේ එකිනෙකා වත් නොදැක අවශ්‍යතාවයන්ට පමණක් සීමා වුණ !

කොහොම වුණත් හැමෝම ඒ වගේ කාර්‍යබහුල නැහැ.

අවමවාදී ජීවනරටාවකට ඇළුම් කරන ඊට හුරු වූ අයට තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් වෙන් කරන්න ඕනෑතරම් කාලය තියෙනවා .

එකිනෙකා වෙනුවෙන් සවන් දෙන්න , විහිලුවක් කරලා හිනාවෙන්න , පරණ කතාවක් කියන්න ,
දරුවන්ට කතන්දරයක් කියන්න , ඒ අයගේ කෝලමක් බලන් ඉන්න, කෑම ටිකක් කවන්න …..
මේ ඕනම දෙයක් වෙනුවෙන් අවශ්‍යතාව තියෙන අය වෙලාව වෙන් කරන්න දන්නවා.

අපේ සියල්ලක්ම තෝරාගැනීම් .
ජීවනරටාව කියන්නේත් තෝරාගැනීමක්.

දරුවන්ගෙන් මිඳිලා එක්ව මූවී එකක් බලන වෙලාව ,
පොඩි රවුමක් දාලා එන එක ,
හිනාවෙලා තේ කෝප්පයක් රස විඳින වෙලාව හරි පොඩි දේවල් වුණත් කොයිතරම් මිහිරි අවස්ථා ද කියලා ඒ දේවල් අත්විඳින අය දන්නවා ඇති .

ඔයා ඔයාගේ සහකරු හෝ සහකාරිය එක්කලා පැයක් / දෙකක් ඩිවයිස් එකකින් එක්ව එකම ගීත රසවිඳලා තියෙනවා ද ?….

ඒකත් හරිම අපූරු අත්දැකීමක් !

කාටද මේවට වෙලාව තියෙන්නේ,
ජීවිතයේ සෑම දවසකම ආදරණීය මතක එකතු කරන සැහැල්ලු සන්සුන් ජීවිත ගෙවන්නන්ටමයි !

අවමවාදී ජීවන රටාව කියන්නේම ‍රසවත් විඳීමක්.. !

Collect memories , Not things
Life goes smoothly !!

Live , before die !!!

Categories
අවමවාදී පවුල මූල්‍ය කළමනාකරණය

පවුලේ ආර්ථිකය එක් අයෙක් මත පැටවීම ප්‍රායෝගිකද ?

අවශ්‍යතා ඉතාම සීමිත කාලයේ අපි ඒකට සැලසුමක් හදලා අවස්ථාවන් වැඩිපුර ඇත්තේ ඔහුට නිසා පවුලේ ආර්ථික කටයුතු ඔහු පවරාගෙන ,
මම එයින් ඉවත් වෙලා ඒ කාලයේ වඩාත් වැදගත්ම දෙය විදියට දරුවන් දෙන්නා එක්ක පූර්ණ කාලීනව රැඳෙමින් අපේ අනෙකුත් දේවල් සංවිධානය කරගැනීම මූලික අරමුණ කරගත්තා.

මේ දේවල් අපි තීරණය කලේ විවාහයට කලින්.

ඒ වගේම අපිට ඒ වෙනකොට දැරිය නොහැකි ණය බරවල් තිබුණේ නැති නිසා අපේ ආදායම එක්ක වියදම් කළමනාකරණය කිරීම ගැටලුකාරී වුණේ නැහැ.

ඔහුගේ රැකියාව සහ පශ්චාත් උපාධි පුහුණුව එක්ක හතරදෙනාම එකට පවුල් ඒකකයක් විදියට වාසය කිරීම මූලික කරගෙන
සමාජයීය , චිත්තවේගීය වගේම මනා කායික සෞඛ්‍ය පවත්වාගැනීම වෙනුවෙන් දරුවන් එක්ක දෙමාපියන් වැඩි කාලයක් එක්ව සිටීම වැදගත්කම සලකා අපි සියලුම දේ සංවිධානය කලා.

සමහරවිට ඔයාලා දන්නවා ඇති , දරුවන් ඉපදුණු කාලයේ සිට මුල් අවුරුදු කිහිපය ඔවුන් එක්ක නිතරම ගැවසෙන අයගේ සෞඛ්‍ය , මානසික මට්ටම , කතාබහ විලාශයන් ආදිය කුඩාම දරුවන්ට ඉතාම තදින් බලපාන බව.

වෘත්තීයමය අතින් ඔහු සෑහෙන්න කාර්‍යබහුල සමයක් වුණත් හැමදාම , දරුවන් එක්ක කාලය ගෙවන්න අමතක කලේ නැහැ . වැඩිපුරම දුවත් පුතාත් රෑට නිදිකරවන්නේ ඔහු.
අතරමැද්දේ ඔවුන් ඇහැරුණත් මට විවේකය දීලා දරුවන් නිදි කිරීම ඔහු භාරගෙන තිබුණා.

මට දවල් කාලයේ අවශ්‍ය විවේකය සහ නිදහසේ තනියම ඇවිදලා එන්න මගේ වැඩක් කරගන්න අවශ්‍ය කාලය ලබාදෙන්න ත් ඔහු අමතක කලේ නැහැ. ඔහු නිවසේ සිටිනා දවසකට හෝ කලින් නිවසට එනවා නම් මාව නිදහසේ තියන එක සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වුණා.

පවුලක් විදියට එක්ව අභියෝග වලට මුහුණ දීම සහ ජයගැනීම කියන දේත් ,
දරුවන්ගේ මුල් අවුරුදු හත හට කියන සුවිශේෂී කාලය අමිහිරි මතක සහ එපාවීම් වලින් තොරව නිදහසේ ස්වාධීනව වැඩෙන්න උපකාර කරවන කාලයක් විදියට හොඳ ළමා කාලයක් දෙන එක අපේ වගකීමක් විදියට සලකා කොතැන වුණත් එක්ව විසීම තහවුරු කරගෙන තමයි අනික් සෑමදෙයටම ඉඩ වෙන් කලේ.

පවුලක් කියන්නේ එක පොදු අරමුණු එක්ක එකිනෙකාගේ පුද්ගලික අරමුණු වලටත් උදව් කරගෙන යන ගමනක් !

අපිට යම් යම් දළ සැලසුම් තිබුණා.

අපි මේ මේ කාල වල මේ දේවල් ළඟා කරගන්න ඕනෑ යැයි සැලසුම් කලා.

කොවිඩ් සමය එක්ක යම් ක්‍රියාත්මක කිරීම් වලට කාලය ගන්නට සිදු වුණත් ඉන්පස්සේ වඩාත් හොඳම තීරණ වලට එන්නට අපිට හැකිවීම සතුටක්.

ඒ නිසාමයි ඔහුගේ පශ්චාත් උපාධි පුහුණුවේ අවසන් කොටස වෙනුවෙන් මුලින් අපි වෙනත් රටක් අරමුණු කරගෙන හිටියා වුණත් නැවත ඔස්ට්‍රේලියාවට හිත යොමු වුණේ.

අද වෙනකොට අපේ කටයුතු ඉතාම පහසුවෙන් කරගෙන යන්න කලකට ඉහත අපි වෙනස් වූ තැන් , ගත් තීරණ සහ අවමවාදී ජීවනරටාව හේතු වූ බව පැහැදිලි දෙයක්.

ආයෙමත් ලියන්නම් !

Categories
අවමවාදී පවුල මනස පුහුණු කිරීම මනස පුහුණු කිරීම කොයිතරම් නම් වටිනවාද ...

නිදහසේ මාවත සොයාගත් ඇය

ඇස් ඇරෙන වෙලාවේ පටන් නින්දට යනකල්
කලබලකාරී හෝරාවන් අස්සේ ඇය සෙව්වේ නිදහස..

රැකියාවට සමු දීමත් සමඟ පැන්ශන් එක නැතිකරගන්න පිස්සුදැයි ඇසූ අයට වැඩිපුරම සිනාවෙන් පිළිතුරු දෙන්නට හැකිවීම යම් සහනයක් වුණත් මිනිස්සුන්ගෙ කතා වලට නොවැටී ඉන්න තරම් ලොකු හයියක් ඒ කාලේ ඇයට නොතිබුණ නිසා හිත අවුල් වෙන අවස්ථා නොතිබුණාම නොවේ.

ඒ වුණත් ඇයගේ ශක්තියට හිත වැටෙන හැම වෙලාවකම ඇයව ඔසවා තබන්න ඔහුට හැකි වුණා.

අලුත් ගෙදරකට මාරු වෙන වෙලාවේ භෞතික නිදහස උදා කරගන්න පුළුවන් වේ කියලා ඇය විශ්වාස කලා.
ඒ එක්කම මානසික නිදහස උදා වෙන බවත් ඇය තදින්ම විශ්වාස කලා.

ගෙදර දේවල් ගැන සම්පූර්ණ නිදහස් තීරණ ගන්න අයිතිය තියෙන්නෙ ඇයට බව හොඳාකාරවම දන්නා දෙයක් වගේම,
කන් පිරෙන්න උපදෙස් දෙන්න අය නැති එකම සැනසීමක් .

“කොහොම වුණත් අවමයෙන් අත්‍යාවශ්‍යම දේවල් එක්ක ආරම්භ කරන්න ඕන ” ඔහුත් එක්ක කතා කලාම ඇය ඒ විදියට තීරණ වලට ආවා.

ඊට හරියන්න ලැයිස්තුව සැකසුවා.
අඩුපාඩු මොනවද කියලා හෙමීට හිතන්න පුළුවන් .
මේ හොඳටම ඇති .

අලුත් ගෙදරට බඩු යවපු දවසේ ඒවා ප්‍රවාහනය කල අය ඇඳන් , අල්මාරිය , ශීතකරණය, රෙදි සෝදනය, මේසය සහ පුටු කිහිපය කලින් පෙන්වූ ආකාරයට නිසි තැන් වල තබා තිබූ නිසා ඇයට තිබුණේ අනෙකුත් දේවල් අසුරාගන්න

පුංචි පැටව් දෙන්නා එක්ක ඕක ලේසි වෙන එකක් නැහැ කියලා වැඩිහිටි කීපදෙනෙක්ම දහ වතාවකට වඩා කියන්න ඇති .
ඒ වුණත් ඇය නිහඬවම වැඩ කරන්න ඕනෑ ආකාරය සැලසුම් කරලා තිබුණා.

ඇයට ඔහුගෙන් ලැබෙන සහායේ අඩුවක් නොමැතිකම එක්ක ඕනෑම වැඩක් කරගැනීම අපහසු දෙයක් වුණේ නැහැ.

අලුතින් දේවල් මිලට ගන්නවා හා සමානව දේවල් ඉවත් කරන්න වෙන බව ප්‍රායෝගික කාරණාවක් වගේම
ඒ විදියට එකතු වෙන්නේ අපද්‍රව්‍ය නම් පරිසරයට ඉන් ඇති කරන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන් ඇය සතුටුදායක නැහැ.

බිම පෙරළෙන , බඩගාමින් යන දරුවන්ගේ ආරක්ෂාව , සුවපහසුව සඳහා මුල්තැන දෙමින් අත්‍යාවශ්‍යම දේවල් එක්ක ජීවිතය ගෙවන ඒ මුල්ම කාලයේ
වැඩ ගොඩ ගැසෙනවා වෙනුවට මහන්සිය අඩු දවස් ගෙවන්න හොඳින්ම අවස්ථාව ලැබුණා.

නිදහස් හිස් අවකාශ නිසා ඔලුවට නිදහසක් වගේම පහසුවෙන් හුස්ම ගන්න පුළුවන් අවකාශයක්,
ඇසට විවේකයක්
මැසිවිලි අවම සන්සුන් නිවසක් …


ඔව් !

හැමවිටම ප්‍රීතියෙන් නිස්කලංකව ජීවිතය ගෙවෙන්නට හේතු වුණා .

අදටත් , ඒ කාලයෙන් අවුරුදු හත හමාරකට පසුත් ඇය ඒ නිදහසේ සුවය විඳිනවා෴

මේ සටහනේ ඇය මමයි.

මේ විදියට වෙනස් කරගත් ජීවිත කතාවේ අවස්ථා ලියන එක මට ලොකු සතුටක් .

(තව කොටසක් ආයෙම ලියන්නම් . දැනට මේ ඇති . වැඩි විස්තර සරල මං පොතේ තියෙනවානේ)

Categories
අවමවාදී පවුල ඉවත් කිරීම් මනස පුහුණු කිරීම මූල්‍ය කළමනාකරණය

සතුට සැනසීම පිරි ජීවිතයක්…

මට කතා කල යාලුවෙක් කියනවා ඔයා නම් දිනලා ඉවරයි කියලා .
ඇත්තටම අපි කතා කලේ ජීවිතය ගැන.
අපේ වයස එක්ක වැඩිපුරම අපේ සෞඛ්‍ය ගැන .

ගොඩක් අය අවුරුදු පනහ , පනස් පහ සමහරවිට අවුරුදු හැට වගේ වෙනකොට විශ්‍රාම අරන් සතුටින් ඉන්නට ඕනෑ යැයි සැලසුම් කරනකොට කෝච්චිය ගිහින් හමාර වෙන්න පුළුවන් .

මම අවුරුදු තිහෙන් වගේ ආරම්භ කල වෙනස එක්ක මම කැමතිම විදියට මගේ ජීවිතය ගෙවෙනවා කියන එක සත්‍යයක්.

ඒ වෙනුවෙන් මම කල සමහර කැපකිරීම් හෝ අතහැරීම් හෝ හැමෝටම එකම ආකාරයට ගැළපෙන්නේ නැහැ.

ඒ කාලේ මට ඕන වුණේ සාමාන්‍ය රටාව වෙනසක් කරගන්න.

පවුලක් ඇතුලේ තියෙන සහයෝගය එක්ක ඒක හොඳින්ම කරන්න පුළුවන් ද බැරිද යන්න තීරණය වෙනවා.

මම එසේ වෙනස් නොවුණා නම් ,
මම හිටපු විදිය එක්ක ,
තරඟකාරී ලෝකය තුල හෙම්බත් වූ ජීවිතයක සාඩම්බර හිමිකාරියක් වෙන්න ඉඩ තිබුණා.

සාමාන්‍ය මිනිස්සු විදියට අපි කවුරුත් මලෙන් උපන් අය නෙවේනේ,
ඉතින් එපා වීම් තිබුණා. කඩාවැටීම් තිබුණා. මගේ නරක ගති බොහෝමයක් තිබුණා. !!

මම හිතන්නේ ඒවා හරිම සාමාන්‍යයි.

නමුත් මට ඕන වුණේම , ජීවිතය නිදහසේ ගෙවන්නේ කොහොමද කියලා වෙනසක් කරගන්න.

මාව තේරුම් අරන් මාව වෙනස් කරගන්න. ඒක මම ටිකෙන් ටික කලා.
ඉන්පස්සේ ලැබුණු හැම යහපත් වෙනසක්ම මේ ජීවනරටාව එක්ක මට ලැබුණු දේවල්.

ඒ නිසාමයි “සරල මං ” පුංචි පොත වුණත් මගේ අත්දැකීම් ඇසුරෙන්ම ලියවුණේ.

ටිකෙන් ටික ඇති කරගත් වෙනස්කම් එක්ක හැමදේම සන්සුන්ව සිදුවෙන්නට වුණා.

අදටත් ,හැමදවසකම මම මට ඉලක්ක තියා ගන්නවා.
“වතුර ලීටර දෙකක් පානය කිරීම වගේ “ඒවා හරිම පුංචි ඒවා වෙන්න පුළුවන් .
නමුත් පුංචි වුණත් ඉලක්ක තබාගෙන වැඩ කිරීම දවස් සතුටින් ගෙවෙන්න හේතුවක් . දවස අවසානයේ මම දිහා තෘප්තිමත් හැඟීමෙන් බලන්න ඒ පුංචි ඉලක්කය වුණත් මට හරිම වැදගත් .

මම සතුටින් සිටීම මා වටා බැඳුණු පවුලේ සාමාජිකයන් පවා සතුටින් ඉන්න හේතුවක් .

ඒවා එකින් එක මේවායි කියලා මම විස්තර කරන්නේ නැහැ , අපි එකිනෙකා ඉලක්ක විදියට තබාගන්නා දේවල් පුද්ගලානුබද්ධයි නේ.

කොහොම වුණත් මම එක්කම මම තරඟ කරනවා. දරුවන් පවා ඒක දකිනවා.
මොකද මම ඒ ගැන එයාලා එක්ක කතා කරනවා.

“අනික් අය කොහොමද කරන්නේ , මොනවද කරන්නේ ඊට වඩා මම කරන්න ඕනේ කියන දේ වෙනුවට ,
මම අද ඉන්නෙ කොහොමද – අදට වඩා හෙට වෙනකොට මගේ වෙනස් කරගන්න ඕන මොනවද කියන දේ එයාලගේ ඔලුවට වැටිලා තියෙන එකම සතුටක්.

ඒක මම ෆීඩ්බැක් එකක් විදියට එයාලගෙන් දකිනවා
සහ එයාලා මටත් මතක් කරලා දෙන අවස්ථා ද තියෙනවා.

අරමුණු , ඉලක්ක තියාගන්නා ගමන් මේ මොහොතේ සතුටින් සිටීම ජීවිතය පහසු කරනවා. ෴

Categories
අවමවාදී පවුල

දරුවන් එක්ක අත්දැකීම් සහ මතක අහුලාගන්න කාලය කොයිතරම් සුන්දර ද …

මම ඒ දෙන්නා නිදාගන්න යන සමහර දවස් වලට එයාලාට යනකල් එතන රැඳෙන්නේ නැහැ.
ඒ වුණත් දෙන්නටම ඕනෑ මාව ගෙන්වගෙන නින්ද යනකල් තියාගන්න. මොනවහරි කියවන්න , ඒ නැතත් ඔයා වාඩි වෙලා හරි ඉන්නකො අම්මී කියලා කියනවා.

සමහර දවස් වලට එහෙම ආවාම අපි තුන් දෙනා කියව කියව ඉන්නකොට ගොඩක් රෑ වෙනවා.

එහෙම වුණත් ඒක හරි වටිනා කාලයක් , සමහරවිට පැයක් විතර . 💙

මොකද මට මඟ ඇරෙන්නේ ෆේස්බුක් එකට හරි යූටියුබ් එකට හරි රිංගන කාලය. ඉතින් ඊට වඩා හැබෑ ජීවිතය , මේ ගෙවන කාලය මොනතරම් වටිනවාද ..

ඔහොම ගෙවෙන කාල දන්නෙම නැතුව අවසන් වෙනවා.

අපේ දරුවන්ට දැන් අපි ළඟට ඇවිත් කියව කියව ඉන්න වෙලාව නැහැ කියලා ළඟදී දවසක හිතවත් සොයුරියක් කීවා වගේම ,
මම දවසක් ෆේස්බුක් සටහනකත් දැක්කා දරුවන් ආදරයෙන් වැළඳගන්න පුළුවන් කාලේට ඒක මඟ අරින්න එපා සහ වඩා ගන්න පුළුවන් වෙන අවසන් දවස කවදාදැයි කියන්න බැහැ කියලා .

ඕක මතක් වෙලා මම ගිය සිකුරාදා පුතාව වඩා ගන්න උත්සහ කලා නමුත් මට දැන් ඔහුව වඩාගන්න නොහැකි තරමට ඔහු බර නිසා අපි දෙන්නම ඇදගෙන වැටුණා.
ඒක කලින්ම කතා කරගෙන වැටුණත් අවුලක් නැති තැනක තමයි මම ඔහුව වඩා ගත්තේ .


ඉතින් අපි දෙන්නටම හිනා !!

මම ටික වෙලාවක් අතීත මතක වලට ගිහින් කල්පනා කලා.
ඔහුව අවසන් වරට වඩා ගත් දවස මට දැන් මතක නැහැ.

ගිය අවුරුද්දේ වෙන්න ඕන . අපි ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ! ඔව් ඒ කාලේ ඔහු මීට වඩා බර පොඩ්ඩක් හරි අඩු නිසා, මට යාන්තම් මතකයි මේ නිවසට එන්න කලින් අපි මුලින්ම ආව නිවසේදී වඩා ගත් බව !!

පවුලක් විදියට ගෙවල් පිරිලා තියෙන කාලය අසීරුතා දැනෙන්නට පුළුවන් බව ඇත්තක් වුණත් , සමහර දේවල් සිදුවන්නේ අවසන් වතාවට කියලා දැනෙන්නෙ නැහැ.

අපි මේ ඉන්න විදිය හොඳයි නේද අම්මී?
අපිට මේ තියෙන දේවල් ඇති නේද ?
කොහෙ හිටියත් අපි හතරදෙනා එකට ඉන්න එක තමයි හොඳම දේ කියලා
එයාලා කියන එකට මම කැමතියි .

සුන්දර මතකයන් එක්කලා, දරුවන් ඉක්මනින් ලොකු වෙනවාට මම කැමතියි.

මේක ලීවේ අද එයාලාට නින්ද යනකල් එතන හිටපු වෙලාවෙන් පස්සේ විනාඩි දෙකක් අරන් !

Categories
Sinhala Categories අවමවාදී පවුල

අවමවාදී පවුලක සතුටු ගමන

අවමවාදීන් ලෙස පවුලක් හැටියට ජීවත් වීමේදී සුදු පැහැති නිවසක් අවශ්‍ය යැයි කියන්නෙ නෑ ..

ඒ කියන්නෙ බඩු මොකුත් නැතුව යන්තම් වතුර බොන්න එක කෝප්පයයි, එක පිඟානයි,
ගෙදර වාඩි වෙන්න පුටුවයි තියෙන්න ඕන වගේ අදහස් ගන්න එපා,

ඔබේ ආර්ථිකය ආදිය එක්ක භෞතික දේවල් වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් .

නමුත් පවුලක් විදියට ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවයට මෙහිදී මුල්තැන දීමයි සිදු කරන්නේ…

පවුලක් විදියට මෙය ක්‍රියාත්මක කරන්න නොහැකියි කියලා කෙනෙක් කීවොත් , ඇත්තටම දරුවන් ඉන්න පවුලක් කියන්නේ අවමවාදී සංකල්පය ක්‍රියාත්මක කරන්න සුදුසුම පවුලක්.

ඒ වගේම තනි පුද්ගලයෙකුට වුණත් !

ආර්ථික වශයෙන් ගත්තත් දරුවන් ඇතුලු පවුලක අවශ්‍යතා වෙනුවෙන් උපයන මුදල එක්ක සතුටින් ඉන්න ලැබෙන්නේ අවමවාදී මිනිසුන්ට.

ඒකට හේතුව තමයි ණය බර අඩු කරගෙන,
ජීවිතේ ප්‍රමුඛතා වලට ඉඩ දීලා ඔලුවටත් බරක් නැතුව නිරවුල් මනසකින් ජීවත් වෙන්න පුළුවන් වෙන එක.

පවුලක් විදියට අවමවාදීන් වෙන්න පවුලේ සාමාජිකයන් සියල්ලටම මනාලෙස පුහුණු කරන ලද සංයමයක් අවශ්‍යයි.

ආධ්‍යාත්මික සුවදායිතාවය විදියට කාගේත් ආගමෙන් ලැබෙන්නේ මීට මනා රුකුලක්.

ඔබේ ආගම කුමක් වුණත් එහි ඇති ධර්මය සත්‍යයක්.
හැම ආගමකම කියා දෙන්නේ සත්‍යය.

අපි වගේම අපේ දරුවන් කුඩා කාලෙ ඉඳන්ම ආගමට දහමට යොමු කිරීම තමයි මෙතනදි ඔවුන්ගෙ මනස හදන්න පුළුවන් පහසුම ක්‍රමය.

මම බෞද්ධයෙක් විදියට මගේ දරුවන් එක්ක පන්සිල් සමාදන්වීම,
පිරිත් සච්ඡායනා කිරීම, භාවනා කිරීමට හුරු කිරීම,
ඒවායේ ආනිශංස කියාදෙමින් මනස ශක්තිමත් කිරීමට දිනපතාම උත්සහ ගන්නවා.

අවමවාදය කියන්නේ අපූරු ගමනක්.!

ගමනාන්තයක් නෙවේ.

ඒ ගමන ආරම්භ කිරීමයි වැදගත් වෙන්නේ