Categories
මනස පුහුණු කිරීම මනස පුහුණු කිරීම කොයිතරම් නම් වටිනවාද ...

මනෝභාවයන් වෙනස් වෙන දවස් ඇතුලේ සතුටින් ඉන්න පුළුවන්ද .. .

සෑම දවසම එකම වාගේ නැහැ .

සුපුරුදු විදියට උදේට ඉර පෑව්වත් අපේ හැඟීම් වෙනස් වෙන්න පුළුවන් එක ක්ෂණයකින් !

අද ඊයේ වගේ නෙවේ කියලා උදේම මට දැණුනා.
ඒ නිසාම මම කලේ කට වහගෙන නිහඬව උදේ වැඩ අවසන් කල එක .

පෙර මම සම්බන්ධ වී සිටි සංවිධානයකින් උදේම ආ ඇමතුමක් නිසා මාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
ඔවුන්ගේ අලුත් පුහුණුවක් සම්බන්ධයෙන් තමයි ඒ ඇමතුම.

නමුත් ඊට මට සම්බන්ධ වීමට නොහැකි බව මම කීවත් කලින් මම minimalism ගැන කතා කල නිසා මා සමඟ කතා කලා ඩෝනා නම් එම සංවිධානයේ සම්බන්ධීකරණ නිළදාරිනිය මේ ගැන වඩාත් ආසා කරන තොරතුරු විමසමින් එය ඉතාම සිත්ගන්නාසුළු කතාවක් විදියට ගලා ගියා.

මේ කතාබහ පමණක් නෙවේ, මීට කලින් කීපවරක්ම ලංකාවේ කිසිම කෙනෙක්ගෙන් නොලැබුණු තරමේ පුදුම කරවන ඇගයීම් මෙහෙදී minimalism / mindset practice වැනි කාරණා කතා කිරීමේදී මට අහන්න ලැබුණා.

ඉන්පස්සේ නිවසින් එළියට ගිහින් පැයක් ඇවිදලා ආවාම වඩාත් සන්සුන් බවක් දැනෙන්න වුණා.

සීතල දවස් නිසා වැඩිපුර දහඩිය නොදැම්මත් නිවසේම හිටියා නම් අලසවම ,හිතට ආ සෘණාත්මක සිතුවිලි එක්ක දවසම ඔහේ ගෙවී යන්න තිබුණා.

අපි ගෑස් සහ විදුලිය ලබාගන්නා සමාගමට ඇමතුමක් දෙන්නට තිබූ නිසා කඩදාසියක් පැනක් අරගෙනම ඇමතුම අරන් පැයකටත් වඩා ඒ ඇමතුමේ රැඳී අවශ්‍ය කාර්‍යය සම්පූර්ණ කරගන්න වුණා.
ලංකාවේ අපි ඇමතුම් සමාගමකට ⁩ කතා කරනවා වගේ තමයි !

අද දවස වඩාත්ම දුරකතන ඇමතුම් වලටම වෙන් වූවාදැයි හිතෙන නමුත් දවසේ මැද ගෙවී යනකොට අද දවසත් වඩාත් හොඳ විදියට වෙනස් වී අවසන් !

සමහර අවස්ථා වල එකවරම අපිට එන හැඟීම් වලංගු බව හඳුනාගැනීමෙන්ම,
ඒ හැඟීම් නිසා වෙන්න පුළුවන් අවුල්සහගත තත්ව වලින් මිඳිලා ඉන්න පුළුවන් .

ඒවා හඳුනා නොගෙන දිගින් දිගටම ඒ හැඟීම් අස්සේ ගිලීසිටීමෙන් සමහරවිට මහා දරුණු තත්වයන්ට පවා ඇදී යන්න පුළුවන් !

මේ විදියට යථාර්ථවාදී සටහන් තැබීමත්
මගේ මූඩ් එක වඩාත් යහපත් වගේම සන්සුන් කරවන්න ලොකු හේතුවක් !

ගිහින් එන්නම්.

ඔයාලගෙ අදහසත් ලියා යන්න .

Categories
අවමවාදී පවුල මනස පුහුණු කිරීම මනස පුහුණු කිරීම කොයිතරම් නම් වටිනවාද ...

නිදහසේ මාවත සොයාගත් ඇය

ඇස් ඇරෙන වෙලාවේ පටන් නින්දට යනකල්
කලබලකාරී හෝරාවන් අස්සේ ඇය සෙව්වේ නිදහස..

රැකියාවට සමු දීමත් සමඟ පැන්ශන් එක නැතිකරගන්න පිස්සුදැයි ඇසූ අයට වැඩිපුරම සිනාවෙන් පිළිතුරු දෙන්නට හැකිවීම යම් සහනයක් වුණත් මිනිස්සුන්ගෙ කතා වලට නොවැටී ඉන්න තරම් ලොකු හයියක් ඒ කාලේ ඇයට නොතිබුණ නිසා හිත අවුල් වෙන අවස්ථා නොතිබුණාම නොවේ.

ඒ වුණත් ඇයගේ ශක්තියට හිත වැටෙන හැම වෙලාවකම ඇයව ඔසවා තබන්න ඔහුට හැකි වුණා.

අලුත් ගෙදරකට මාරු වෙන වෙලාවේ භෞතික නිදහස උදා කරගන්න පුළුවන් වේ කියලා ඇය විශ්වාස කලා.
ඒ එක්කම මානසික නිදහස උදා වෙන බවත් ඇය තදින්ම විශ්වාස කලා.

ගෙදර දේවල් ගැන සම්පූර්ණ නිදහස් තීරණ ගන්න අයිතිය තියෙන්නෙ ඇයට බව හොඳාකාරවම දන්නා දෙයක් වගේම,
කන් පිරෙන්න උපදෙස් දෙන්න අය නැති එකම සැනසීමක් .

“කොහොම වුණත් අවමයෙන් අත්‍යාවශ්‍යම දේවල් එක්ක ආරම්භ කරන්න ඕන ” ඔහුත් එක්ක කතා කලාම ඇය ඒ විදියට තීරණ වලට ආවා.

ඊට හරියන්න ලැයිස්තුව සැකසුවා.
අඩුපාඩු මොනවද කියලා හෙමීට හිතන්න පුළුවන් .
මේ හොඳටම ඇති .

අලුත් ගෙදරට බඩු යවපු දවසේ ඒවා ප්‍රවාහනය කල අය ඇඳන් , අල්මාරිය , ශීතකරණය, රෙදි සෝදනය, මේසය සහ පුටු කිහිපය කලින් පෙන්වූ ආකාරයට නිසි තැන් වල තබා තිබූ නිසා ඇයට තිබුණේ අනෙකුත් දේවල් අසුරාගන්න

පුංචි පැටව් දෙන්නා එක්ක ඕක ලේසි වෙන එකක් නැහැ කියලා වැඩිහිටි කීපදෙනෙක්ම දහ වතාවකට වඩා කියන්න ඇති .
ඒ වුණත් ඇය නිහඬවම වැඩ කරන්න ඕනෑ ආකාරය සැලසුම් කරලා තිබුණා.

ඇයට ඔහුගෙන් ලැබෙන සහායේ අඩුවක් නොමැතිකම එක්ක ඕනෑම වැඩක් කරගැනීම අපහසු දෙයක් වුණේ නැහැ.

අලුතින් දේවල් මිලට ගන්නවා හා සමානව දේවල් ඉවත් කරන්න වෙන බව ප්‍රායෝගික කාරණාවක් වගේම
ඒ විදියට එකතු වෙන්නේ අපද්‍රව්‍ය නම් පරිසරයට ඉන් ඇති කරන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන් ඇය සතුටුදායක නැහැ.

බිම පෙරළෙන , බඩගාමින් යන දරුවන්ගේ ආරක්ෂාව , සුවපහසුව සඳහා මුල්තැන දෙමින් අත්‍යාවශ්‍යම දේවල් එක්ක ජීවිතය ගෙවන ඒ මුල්ම කාලයේ
වැඩ ගොඩ ගැසෙනවා වෙනුවට මහන්සිය අඩු දවස් ගෙවන්න හොඳින්ම අවස්ථාව ලැබුණා.

නිදහස් හිස් අවකාශ නිසා ඔලුවට නිදහසක් වගේම පහසුවෙන් හුස්ම ගන්න පුළුවන් අවකාශයක්,
ඇසට විවේකයක්
මැසිවිලි අවම සන්සුන් නිවසක් …


ඔව් !

හැමවිටම ප්‍රීතියෙන් නිස්කලංකව ජීවිතය ගෙවෙන්නට හේතු වුණා .

අදටත් , ඒ කාලයෙන් අවුරුදු හත හමාරකට පසුත් ඇය ඒ නිදහසේ සුවය විඳිනවා෴

මේ සටහනේ ඇය මමයි.

මේ විදියට වෙනස් කරගත් ජීවිත කතාවේ අවස්ථා ලියන එක මට ලොකු සතුටක් .

(තව කොටසක් ආයෙම ලියන්නම් . දැනට මේ ඇති . වැඩි විස්තර සරල මං පොතේ තියෙනවානේ)

Categories
Sinhala Categories ඉවත් කිරීම් මූල්‍ය කළමනාකරණය විලාසිතා

කඩා වැටෙන ඇඳුම් අල්මාරි – 2 කොටස

අවම ඇඳුම් භාවිතයට මම හුරු වූ හැටි ෴

අපේ විවාහයට සතියකට කලින් හස්බන්ඩ් එයාගේ සියලුම ඇඳුම් කුඩා බෑග් දෙකකට අසුරා මගේ ගෙදරට ගෙනත් දෙනවා.
(ඒ දින කීපයට ඔහුට අවශ්‍ය ඇඳුම් කීපය පමණක් ළඟ තබාගෙන.)
අපිට විවාහය එක්කම ඈතකට යන්න වෙන බව දන්නා නිසා මගෙත් අත්‍යාවශ්‍යම ඇඳුම් මොනවද කියලා තෝරගන්න මටත් සිදුවුණා.

පැදුරු දෙකක් බිමට එලලා මගේ අල්මාරි දෙකේ ඇඳුම් සියල්ල ඒවාට දැම්මා.

එක දවසක්ම අරගෙන මම මගේ ඇඳුම් වෙන් කලා.

ඇඳුම් එකින් එක බලමින් අඳින්න පුළුවන් ,
අඳින්න කැමති ,
අඳලවත් නැති ,
අඳින්නත් බෑ ඉවත් කරන්නත් ලෝබයි.
අඳින්නම බැහැ..
මේ විදියට ඒ ඇඳුම් සියල්ල වෙන් කලා.

හස්බන්ඩ් ගේ ඇඳුම් පිළිවෙත ගැන කල්පනා කලා .
වෛද්‍යවරයෙක් වූ ඔහු ඔහුගේම විදියට ඕනෑම තැනක හරි සතුටින් ඉන්නවා නම්, මටත් පුළුවන් නේද සරල වෙන්න කියන කාරණාව ගැන මම කල්පනා කලා .

ඉන්පසුව අඳින්න කැමති සහ අඳින්න පුළුවන් ඇඳුම් ටික පමණක් තෝරාගෙන
ඉතුරු ඒවාගෙන් තවත් කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඇඳුම් වෙන් කලා.
ඒවා මම සීමාවාසික ඖෂධවේදියෙක් ලෙස පුහුණු වූ රෝහලේ පිරිසිදු කිරීමේ කාර්‍යමණ්ඩලයේ කාන්තාවකට ලබා දුන්නා.(ඊට කලිනුත් මම ඇයට එහෙම දෙනවා)

දැන් මට පුදුම නිදහසක්. ඒ වගේම සතුටුයි .

ඉතුරු ඇඳුම් ගොඩ අතරින් අත් පිස්නා ආදිය මහන්න පුළුවන් ඒවා අරන් කපලා අත්පිස්නා – මේස පිස්නා ආදිය මැසුවා.

හොඳම තත්වයේ සාරි කීපයක් නෑදෑ වෙන කීපදෙනෙක්ට දුන්නා.

අවසානයේ මට ගමන් අඳින්න ඩෙනිම් දෙකක් ටී ශර්ට් 3 ක් ගවුම් 4 ක් වගේ ප්‍රමාණයක් ඉතුරු වුණා මතකයි .

දැනටත් මම මාස 6 කට විතර වරක් decluttering කරනවා. එතනදීත් ඇඳුම් අර වගේම වෙන් කරලා හොඳ ඒවා අවශ්‍ය කෙනෙක්ට දෙනවා.ඒත් ඉස්සර වගේ දැන් එහෙම ඉවත් කරන්න මගේ සහ හස්බන්ඩ් ගේ ඇඳුම් නම් නැතිම තරම්.

දරුවන්ටත් මේ ක්‍රමේම තමයි මම අනුගමනය කරන්නේ . එයාලත් ඉක්මනින් ලොකු වෙන නිසා ගෙදරට අඳින ඇඳුම් ටිකක් වැඩියෙන් තිබ්බට ගමන් අඳින ඇඳුම් හරිම අඩුවෙන් තියෙන්නේ.

දුවට , සාද හෝ විවාහ උත්සව වගේ ඒවට දිලිසෙන ඇඳුම් , නෙට් ඇඳුම් වගේ ඒවා අන්දන්නේ නැහැ.
පහසු කොට්න් ගවුම් තමයි අන්දන්නෙ,
එතකොට පාටි ඇඳුම් කියලා නිකරුණේ වියදම් කරලා එක පාරින් දෙපාරින් ඉවත් කරන්න වෙන්නෙත් නෑ .

මම වෙඩිං වලට ගොඩක් වෙලාවට අඳින්නෙම තනි පාට ගවුම් .
ඒ සඳහා මට ගවුම් දෙක තුනක් තියෙනවා. කරාඹු සපත්තු හෝ බෙල්ට් මාරු කරමින් පුංචි වෙනස්කමක් කරලා කොණ්ඩයට පොඩි වෙනස්කමක් කරලා ඒ ගවුම් කීපයම දැනට අවුරුදු 5 ක් පුරාවටම අඳිනවා.
( දරුවන් ලැබුණාට මගේ ශරීරයේ ප්‍රමාණය වෙනස් වුණේ නැති නිසා)

සාරි වලටත් අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. හැට්ටය මාරු කිරීම සහ අඳින විදිය වෙනස් කිරීමෙන් ඒ ක්‍රමයම යොදාගන්න පුළුවන් .

කාට හරි මේක විහිලුවක් වගේ හිතෙන්න පුළුවන් .
තැනකට ගියාම ලැජ්ජාවට පත් වෙන්න වෙයිද හිතෙන්න පුළුවන් .

අවමවාදියෙක් වෙන්න ඇත්තටම පහසු නැහැ.
හිත පාලනය කරගැනීම බලෙන් කරන්න පුළුවන් දේකුත් නෙවේ.
හරියටම අත්‍යාවශ්‍යම දේවල් වලට අවධානය දෙනවිට ජීවිතයේ අරමුණු පැහැදිලි වෙනකොට මේ ක්‍රමයට හුරු වෙන්න පුළුවන් .

අවමවාදී ජීවන රටාවකට අනුගත වුණාම අනික් අයගේ ඇස් වලින් ලෝකය බලන එක නතර කරලා තමන්ගේම ඇස් වලින් ලෝකය දෙස බලන්නටත් තමන්ට තියෙන දේවල් එක්ක ආත්මාභිමානයෙන් ඕනෑම තැනක ඉන්නටත්,
වෙනස් වෙන ලෝකයේ තමන්ගේම විදියකට ජීවත් වෙන්නටත් හැකි වෙනවා.


“පරිසර හිතකාමී ජීවිතයක් නේද මම මේ ගෙවන්නේ “යැයි සිතමින් තව දුරටත් සරල වෙන්න පුළුවන් අවස්ථා ගැන උනන්දු වෙනවා.

එතකොට අනුකරණය කරන්න සන්සන්ඳනය කරන්න මතක් වෙන්නේ වත් නෑ.. තමන් ගැනම ලොකූ සතුටක් ඇති වෙනවා.

මේවා බලන් ඉන්න දරුවන්ද ඉබේම මේ සරල ක්‍රමයට හුරු වෙනවා.

ජීවිතයේ නිදහස් බවක් සැනසිල්ලක් වගේම අත්‍යාවශ්‍ය වෙනත් දේවල් වලට වියදම් කරන්න මුදල් පවා ඉතුරු වෙනවා.

සරල ජීවන රටාවක් එක්ක දියුණු වෙන්න, සාර්ථක වෙන්න පුළුවන් මාර්ග සොයා ගන්නත් මේ විදියට හරිම පහසුයි.

තවත් සටහනකින් හමුවෙමු.

අදහසක් ලියා තබන්න .

Categories
මනස පුහුණු කිරීම

මනස පුහුණු කිරීම කොයිතරම් නම් වටිනවාද ….

ලෙඩක් හැදීගෙන එනකොට , යම් කායික අපහසුතාවයක් ඇති විට කේන්ති එන්න පුළුවන් .
වේදනාවන් එක්ක මානසික සුවදායීතාවය අතුරුදන් වෙලා යන එක සාමාන්‍යයි.

ඉස්සර , ඒ කියන්නේ අවුරුදු අටකට නවයකට කලින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු අසනීප තත්වයන් වුණත් මතු වෙත්ම මනෝභාවයන් වල වෙනස නිසා ,
මගේ අවට ඉන්නා අය එයින් කොයිතරම් පීඩාවිඳින්නට ඇද්ද කියලා මම දන්නේ නැහැ.

මනස පුහුණු කිරීම කියන වටිනාම ගුණාංගය අනික් සෑමදේකටම වඩා ඉහළින් ඇති දෙයක් විදියට
අමවවාදී ජීවනරටාවට අනුගත වෙන්න පටන් ගත් කාලේම දැනෙන්නට ගත් නිසා ටිකෙන් ටික මගේ යහපත් වෙනස්කම් පරීක්ෂාවට ලක් කරන්න මම පුරුදු වුණා.

කායික අපහසුතාවයකදී සන්සුන් මනසක් තබා ගන්නට ටිකෙන් ටික පුහුණු කලා.

අසනීපයක් වුණාම ඉක්මනින් සුව වෙන්න එයින් ලැබෙන රුකුල අතිමහත් !

කරන්නට නොහැකි දේවල් ගැන වද වෙනවා වෙනුවට අසනීපයෙන් ඉන්නා විට බෙහෙත් , කෑම , වතුර සහ විවේකය කියන දේ ප්‍රමාණවත්ව ගැනීමෙන් ඉක්මනින් සුව වෙන්නට ඉඩ ලැබෙනවා.

එතනදී මානසික සුවදායීතාවය අංක එකටම එනවා.

සහයෝගය ලැබෙන පවුලක් තුල මේ දේ කිරීම ඉතාම ප්‍රායෝගිකයි.
මේක සහකරු හෝ සහකාරිය තෝරාගැනීම නිවැරදිවම කරන්න ඕනෑ ආයෝජනයක් කියලා හොඳටම දැනෙන්න ගන්න අවස්ථාවක් !!!!!!

තනියම නිවසින් හෝ ඈත් වෙලා ඉන්නා කෙනෙක්ට වුණත් කෑම ගෙන්වාගන්නා වැඩ පිළිවෙළක් සකසා ගත්තාම විවේකෙන් ඉඳලා ඉක්මනින් සනීප වෙන්න පුළුවන් .

රෙදි සෝදනය වැනි වැඩ පහසු කරවන උපකරණ එක්ක ඉස්සර වගේ පැල් බැඳගෙන රෙදි සේදීම් ආදියත් කරන්නට ඕනෑ නැති නිසා,
අනික් වැඩ සියල්ල පසුවට කල් තියන්න තරමට අවශ්‍ය නොවෙන්නෙත්, අවමවාදී නිවසක් තුල විශේෂයෙන් නිර්මාණය වන භෞතික අවුල්ද අඩු නිසා.

Categories
මූල්‍ය කළමනාකරණය විලාසිතා

ඇඳුම් කඩා වැටෙන අල්මාරි

බොහොම කාලෙකට ඉස්සර ,
මටත් තිබුණා ඇඳුම් පිරුණු දොර ඇරියාම බිම ඇඳගෙන වැටෙන්න තරම් ගොඩ ගසා ගත් ඇඳුම් අල්මාරි දෙකක්.

ඒත් ගමනක් යන්න වුණාම අඳින්න ඇඳුමක් නැහැ. අල්මාරි ඇරගෙන කල්පනා කලත් තියෙන එක ඇඳුමක් වත් අඳින්න හිතන්නේ නෑ.

ඒ නිසා ගමනක් යන්න එකක් ගන්න හිතෙනවා. නැත්නම් හිත කණස්සල්ලෙන් තියෙන එකක් ඇඳගෙන යනවා.

ඒ අතරේ තමයි මට හමුවූ හොඳම අවමවාදියාගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධ ක්‍රියා කලාපය මම දකින්නේ .
ඔහුට ඇති මිලෙන් ටිකක් වැඩි ඇඳුම් කිහිපය වෙනස්කම් කරමින් විවිධ අවස්ථා වලට ගලපන අන්දම දුටුවාම මගේ හිතත් ඒකට ඇදිලා ගියා.

ඒ ක්‍රමය මගේ ඇඳුම් පැළඳුම් වලටත් යොදාගන්න මම මුලින්ම උත්සහ කලා.
මම ඒක කරන්න පටන් ගත්තා .
මගේ අල්මාරිය පැහැදිලි වුණා.
අනවශ්‍ය ඇඳුම් වගේම අනවශ්‍ය වියදම් ඉවත් වුණා.

දැන් ,ගමනක් යෑමට නියමිත වූ විගස අඳින්නට අවශ්‍ය ඇඳුම එකවරම සිහියට නැඟෙනවා.

විවාහ උත්සවයක් නම් අද අඳින්නේ කුමක්ද ලබන මාසයේ නැවත විවාහ උත්සවයක් තිබුණත් යම් යම් වෙනස්කම් කීපයක් කර ඒ ඇඳුමම හෝ ඇඳීමට තරම් හැකියාවක් දැන් මටත් තියෙනවා.

ඒ විදියට පුරුදු වුණාම ජීවිතේ හරි සැහැල්ලුවක් දැනෙනවා.
ඔබත් ඒ සැහැල්ලුවේ සැනසිල්ල අත් විඳින කෙනෙක් ද ?

මම මීට ආරම්භයක් ගත් ආකාරය ඊළඟට ලියන්නම්.

Categories
මනස පුහුණු කිරීම සෞඛ්‍යය

අවමවාදී මනසක් – සන්සුන් ජීවිතයක් !

මට කවුරු මොනව කීවත් මම හිනාවෙලා ඉන්නවා.

මගෙ වරදක් නම් අනිවාර්යයෙන් ම හදාගන්නවා.

මගෙ වරදක් නැත්නම් ඒ කෙනා ගැන අනුකම්පා කරලා අමතක කරනවා .

ඉස්සර වත් මම ආපස්සට බණින්න ගිහින් නෑ. නමුත් ඉස්සර මගේ වැරදි කියන අය එක්ක කේන්ති ගත්තා , දුක් වුණා.
ඒවා ගැන කල්පනා කරන්න කාලය යෙදෙව්වා .

ඒ ඔක්කොම හරිම නිශ්ඵලයි කියලා කාලයත් එක්ක මම තේරුම් ගත්තා .

ඒ නිසා මගේ හිත රිදවාගන්න එකත් නවතා දැමුවා.

ඒකෙන් මට මහත් සැනසිල්ලක් දැනෙනවා.
මෙහෙම ඉන්න නිසා කාලෙකින් එහෙම ගැටීම් වගේ අවස්ථා හෝ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නෑ.
ඒ කියන්නේ මතක ඇති කාලෙක කවුරුත් ගැටෙන්න ඇවිල්ලා නෑ.මම ගැටෙන්න ගිහිනුත් නෑ.

මම ළඟින් ඇසුරු කරන අය බොහෝම සීමිත වීම සහ අත්‍යාවශ්‍ය දේවල් වලදී ඕනෑම කෙනෙක් එක්ක හොඳ අවබෝධයකින් සම්බන්ධ වීමට ඇති හැකියාව නිසා ගැටුම් නැතුව සතුටින් ඉන්න පුළුවන් කියන එක අත් විඳිනවා.

Minimalism ගැන ඉගෙන ගන්න සොයන්න පටන් ගත්තාට පස්සේ ජීවිතයට ඒ දේවල් එකතු කරගන්න පටන් ගත්තට පස්සේ භෞතික දේවල් , භෞතික අවශ්‍යයතා වලට කලින් ( අවමවාදී මනස පුහුණු කිරීම ) mindset practice හරිම වැදගත් බව තේරෙනවා.

සතුටින් ඉන්න.
කොයිම තැනක වුණත් නොගැටී ඉන්න පුහුණු කලාම හරි සැහැල්ලුයි 🤗

Categories
මූල්‍ය කළමනාකරණය

ගෙදර වියදම් පාලනය කරගමු.

ගෙදර වියදම් පාලනය

මේක ඉතින් හරි සංකීර්ණයි.
හරියට කෑම පාලනය කරගෙන ඇඟ අඩු කරගන්නව වගේ.

මම ඒ උදාහරණය ගත්තේ පහසුවටමයි.

හිතන්න ඔබට ගෙදර වියදම් අඩු කරගන්න ඕන .
නමුත් කොහොමද කරන්නේ කියලා අදහසක් නෑ වෙන්න පුළුවන් .

ගෙදර වියදම් ලක්ෂයයි නම් ඒක එකපාරටම පනස්දාහට අඩු කරන්න උත්සහ කරන්න එපා .

මගේ බර වැඩි නම් මම කෑම වේල් පහක් ගන්නවා නම්,
එකපාරටම කෑම වේල් තුනකට අඩු කරගන්න බෑනේ.

ඒකට කරන්න ඕන එක වේලක ප්‍රමාණය අඩු කරන එක වගේම සෞඛ්‍යමත් ආහාර ගන්න එකත් ව්‍යායාම වලට යොමුවීමත් වගේ නිසි රටාවකට කරගන්න එක.
එහෙම ක්‍රමානුකූලව කාලයක් කරගෙන යනකොට ඔබේ අරමුණට ළං වෙන්න පහසුයි .

ඉතින් මේ වගේම වියදම් පාලනය කිරීමත් ක්‍රමානුකූලව කරන්න ඕන එකක්.

එක මාසෙක සම්පූර්ණ වියදම් පොතක් අරන් ලියන්න .
ආරම්භයේ නම් සියල්ලම ලියන්න ඕන.
නැත්තම් අවබෝධයක් ගන්න බැහැනෙ.
(බස් ටිකට් එකේ මිල පවා.)

මුලින්ම ගත්ත බඩු වලට ඉදිරියේදී මිල සටහන් කරන්න .

ඒ බඩු ඒ මාසයේ වැය වන ආකාරය සටහන් කරන්න.

ඉතුරු වෙන බඩු සහ ඒවායේ ප්‍රමාණ සටහන් කරගන්න.

ඒ අනුව වැය වූ දේවල් සහ ප්‍රමාණ සටහන් කරගන්න.

වැඩි ප්‍රමාණ වලින් ගේන්න පුළුවන් බඩු ලාබදායී වෙලාවට වැඩියෙන් ගේන්න.
උදා. සේදුම් කුඩු ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් පැකට් දෙකක් ගන්න පුළුවන් .

දැන් මේ විදියට පරිභෝජනය කරන සහ ඉතුරු වෙන බඩු ගැන අවබෝධයක් ගත්තාම ඊළඟ මාසෙට අඩුවෙන් ගන්න ඕන බඩු සහ ප්‍රමාණ ගැන වැටහීමක් එනවා.

මාස කීපයක් මේ ක්‍රමය කලාම බඩු අඩු / වැඩි කරගෙන වියදම් පාලනය කරගන්න පුළුවන් වෙනවා.

ඒ අතරේ ඔබේ බඩු ලැයිස්තුවේ කපා හරින්න පුළුවන් බඩු ගැන අවධානය දෙන්න.

ඔබ සෞඛ්‍යමත් ජීවිතයක් ගෙවන්න කැමති බෙහෙත් අඩුවෙන් බොන්න කැමති කෙනෙක් නම්,
සෞඛ්‍යමත් නොවන ආහාර පරිභෝජනය අඩු කරන්න .
ඒවාට තමයි සාමාන්‍යයෙන් වැඩි මිලක් යන්නෙත්.

ලෙඩ වුණොත් බෙහෙත් වලට යන වියදම් ,පරීක්ෂණ වලට යන වියදම් බොහෝම ඉහළ බවත් අමතක කරන්න එපා.

ගෑස් සිලින්ඩරය සවිකල දා ගැන සටහනක් දාගන්න.
ලිප පිරිසිදුව තබාගැනීමෙන් ගෑස් හානිය වලකනවා.
නිල් දැල්ල පාවිච්චි කරලා අඩු ගින්දරේ කෑම පිසින්න.
ඒක සෞඛ්‍යටත් හිතකරයි .

ලයිට් බිල වතුර බිල මනු කියවන්නා ආ දාම සටහනක් දාගන්න.
යුනිට් ගණන සහ දිනය.
දවස් පහෙන් පහ හෝ කැමති විදියට ඒවා චෙක් කරන්න .
දවසකට යන යුනිට් ගණන ගැන අවබෝධයක් ලබා ගන්න.

ගෙදර වතුර වෑස්සෙන කරාම වගේ ඒවා අලුත්වැඩියා කරගන්න.
ගෙදරින් එළියට යනකොට නිවසට සැපයුම් ජල නළය වසා දමා යන්න.

පාවිච්චි නොකරන විට චාජර් පවා ගලවා විසන්ධි කර තබන්න.
නිකරුණේ වැඩ කරන රූපවාහිනී එහෙම බලන්න කෙනෙක් නැත්තම් ඕෆ් කරන්න .
ඇඳුම් ඔක්කොම එකට අයන් කරන්න .
වොශිං මෙශින් එක පාන්දර ක්‍රියාත්මක කරන්න පුළුවන් .
මිලෙන් වැඩි , වගකීම් කාලයක් තියෙන LED බල්බ් පාවිච්චි කරන්න .
බාල විදුලි උපකරණ පාවිච්චි කරන්න එපා.
කාමරයකින් එළියට එනකොට ලයිට් එක ඕෆ් කරන්න කියලා ගෙදර හැමෝටම මතක් කරන්න.

තව මට අමතක වූ කරුණු එකතු කරන්න .

මීට අමතරව වාහන ඉන්ධන වියදම් , ටෙලිෆෝන් බිල් වියදම් ආදියත් මේකට එකතු කරගන්න පුළුවන් .

හැම මාසෙම බෙහෙත් වලට එහෙම වියදම් යනවා නම් ඒවාත් වෙනම සටහන් කරගන්න.

ඔය ඔක්කොම වගේ අවසානයට එකතු කරගෙන බලන්න.

මෙහෙම සටහන් කරගෙන මාස කීපයක් කරගෙන යනකොට ,
වෙනස් කරගන්න ඕන තැන් පහසුවෙන් බලාගන්න පුළුවන් .

මේ තමයි මම දෙදාස් දාහත වසරේ සිට දරුවන් දෙදෙනා සහ අපි දෙන්නා වෙනම ගෙදරකට ගියාට පස්සේ සැලසුම් කරලා ක්‍රියාත්මක කල ක්‍රමය .

ඒ විදියට ගෙදර වියදම් ගැන හොඳ අවබෝධයක් ගන්නත් පුළුවන් ,
වෙනස් කරන්න උවමනා තැන් පැහැදිලි කරගන්නත් පුළුවන් .

මට නම් මේක බොහෝම සාර්ථක ගෘහ පරිපාලන ක්‍රමයක්.

සුභ දවසක් හැමෝටම
🤜🤛

( 2020 minimalist living facebook සමූහය වෙනුවෙන් ලියූ සටහනක් සටහනක් )

Categories
මනස පුහුණු කිරීම

කට පරිස්සම් කරගැනීම ඒ තරම් වැදගත් ද ?

මම හදාගත් මගේ අඩුපාඩු ගැන කියන්න මම ලැජ්ජා වෙන්නේ නැහැ.

මම
ඉස්සර , ඕනෑම තැනක කතාව ඉස්සර කරගන්න දක්ෂ කෙනෙක් !
පාසැල් කාලේ .. ඊට පස්සෙත්!

මගේ සහකරු මට මුණගැහෙන්නේ අවුරුදු දාහතෙන් , ඔහු කතාව අඩු නෙවේ, කතාව නැතිම කෙනෙක් !

මට ඒක පෙනුනේ මහ අමුතු දෙයක් විදියට ! වෙලාවකට මට හරිම කේන්තියි.
යමක් ඇහුවාම නෑහුණා වගේ ඉන්නකොට ආයේ ආයේ ඒකම අහන පුරුද්ද මට තිබුණා.
ඒත් ඔහු නිහඬයි,
සමහරවිට ප්‍රතිචාරය මඳ සිනාවක් පමණයි.

ඒ තුලින් කාලයත් එක්ක මම බොහෝ පාඩම් ඉගෙන ගත්තා .මම වෙනස් විය යුතුම බව මම තේරුම් ගත්තා .
ඔහු කොයිතරම් ඉවසීමෙන් ඒ දේවල් දරාගන්නට ඇද්දැයි මට තේරුම් ගන්න බොහෝ කාලයක් ගියා.
ඒ වගේම ඒ විදියට ප්‍රතිචාර දැක්වීම කොයිතරම් අගනේදැයි තේරුම් ගන්නටත් මට අවුරුදු පහක් හයක් ම ගියා.
විවාහයට පෙර පූර්ණ වශයෙන්ම මම ඒ දේවල් හොඳින් තේරුම් ගත් නිසා අපේ මේ ගෙවුණු කාලය බොහෝම සැනසිල්ලෙන් ගෙවී ගියා.

අවමවාදය කියන්නේ, භෞතික වස්තූන් අවමව පවත්වාගැනීම හෝ පරිභෝජනය පමණක්ම නොවන බව මම තේරුම් ගත්තේ මේ දේවල් ගැන සොයන්න කියවන්න පටන් ගත් පසුයි.

අවමවාදී මනස පුහුණු කිරීම ( minimalist mindset) කියන්නේ අවමවාදී ජීවන රටාවට අත්‍යාවශ්‍යම දෙයක් !

හැමදේටම කලින් ටිකෙක් ටික මනස පුහුණු කිරීම
අනවශ්‍ය කතා අඩු කිරීම
ඒ තුලින් මනා ලෙස සවන්දීමට හැකි වීම
වගේම
යහපත් සන්නිවේදන ක්‍රියාවලියක් පවත්වාගැනීම
සන්සුන් නිස්කලංක මනසක්
ගැටලුකාරී නොවන
මානසික ආතතීන් අවම අභ්‍යන්තර සහ බාහිර පරිසරයන් ගොඩනඟන්නට හැකි බව
මම අත්විඳින්න පටන් ගත්තා .

සියල්ල සර්ව සම්පූර්ණ මිනිසුන් නැත.


නමුත් තමා විශ්වාස කරගෙන තමන්ව දකින්නට හැකි නම් අඩුපාඩු වැරදි නිවැරදි කරගෙන ජීවිතය සතුටින් ඉදිරියට ගෙනයාම ඉතාම පහසුය.

සුභ දවසක් 🦋