සෑම දවසම එකම වාගේ නැහැ .
සුපුරුදු විදියට උදේට ඉර පෑව්වත් අපේ හැඟීම් වෙනස් වෙන්න පුළුවන් එක ක්ෂණයකින් !
අද ඊයේ වගේ නෙවේ කියලා උදේම මට දැණුනා.
ඒ නිසාම මම කලේ කට වහගෙන නිහඬව උදේ වැඩ අවසන් කල එක .
පෙර මම සම්බන්ධ වී සිටි සංවිධානයකින් උදේම ආ ඇමතුමක් නිසා මාව සම්පූර්ණයෙන්ම වෙනස් වුණා.
ඔවුන්ගේ අලුත් පුහුණුවක් සම්බන්ධයෙන් තමයි ඒ ඇමතුම.
නමුත් ඊට මට සම්බන්ධ වීමට නොහැකි බව මම කීවත් කලින් මම minimalism ගැන කතා කල නිසා මා සමඟ කතා කලා ඩෝනා නම් එම සංවිධානයේ සම්බන්ධීකරණ නිළදාරිනිය මේ ගැන වඩාත් ආසා කරන තොරතුරු විමසමින් එය ඉතාම සිත්ගන්නාසුළු කතාවක් විදියට ගලා ගියා.
මේ කතාබහ පමණක් නෙවේ, මීට කලින් කීපවරක්ම ලංකාවේ කිසිම කෙනෙක්ගෙන් නොලැබුණු තරමේ පුදුම කරවන ඇගයීම් මෙහෙදී minimalism / mindset practice වැනි කාරණා කතා කිරීමේදී මට අහන්න ලැබුණා.
ඉන්පස්සේ නිවසින් එළියට ගිහින් පැයක් ඇවිදලා ආවාම වඩාත් සන්සුන් බවක් දැනෙන්න වුණා.
සීතල දවස් නිසා වැඩිපුර දහඩිය නොදැම්මත් නිවසේම හිටියා නම් අලසවම ,හිතට ආ සෘණාත්මක සිතුවිලි එක්ක දවසම ඔහේ ගෙවී යන්න තිබුණා.
අපි ගෑස් සහ විදුලිය ලබාගන්නා සමාගමට ඇමතුමක් දෙන්නට තිබූ නිසා කඩදාසියක් පැනක් අරගෙනම ඇමතුම අරන් පැයකටත් වඩා ඒ ඇමතුමේ රැඳී අවශ්‍ය කාර්‍යය සම්පූර්ණ කරගන්න වුණා.
ලංකාවේ අපි ඇමතුම් සමාගමකට කතා කරනවා වගේ තමයි !
අද දවස වඩාත්ම දුරකතන ඇමතුම් වලටම වෙන් වූවාදැයි හිතෙන නමුත් දවසේ මැද ගෙවී යනකොට අද දවසත් වඩාත් හොඳ විදියට වෙනස් වී අවසන් !
සමහර අවස්ථා වල එකවරම අපිට එන හැඟීම් වලංගු බව හඳුනාගැනීමෙන්ම,
ඒ හැඟීම් නිසා වෙන්න පුළුවන් අවුල්සහගත තත්ව වලින් මිඳිලා ඉන්න පුළුවන් .
ඒවා හඳුනා නොගෙන දිගින් දිගටම ඒ හැඟීම් අස්සේ ගිලීසිටීමෙන් සමහරවිට මහා දරුණු තත්වයන්ට පවා ඇදී යන්න පුළුවන් !
මේ විදියට යථාර්ථවාදී සටහන් තැබීමත්
මගේ මූඩ් එක වඩාත් යහපත් වගේම සන්සුන් කරවන්න ලොකු හේතුවක් !
ගිහින් එන්නම්.
ඔයාලගෙ අදහසත් ලියා යන්න .


