Categories
අවමවාදී පවුල

දරුවන් එක්ක ගෙවෙන ලස්සන දවස් ..

නංගී ඊයේ සහතිකය සහ තෑගි ගන්න ගිය වෙලාවේ ඔයාට මොකද හිතුණේ.. ?


Happy or jealousy Or angry or sad ?

මම පුතාගෙන් තනියම ඉන්න වෙලාවක් බලලා හෙමීට ඇහුවා.

I was very happy and big clapped! පුතා කීවේ එහෙමයි.

මම පුතගෙ ඔලුව අතගලා සතුට ප්‍රකාශ කලා.

“ඔයාලා දෙන්නම එක එක ඒවාට දක්ෂයි. මතකයි නේද ඔයා හොඳම සොකර් ප්ලේයර් වුණ වෙලාවේ නංගී ග්‍රවුන්ඩ් එකට පැනලා නටපු සතුට !

ඔයාලා දෙන්නම එහෙම තමයි ලොකු වෙන්න ඕන .

එක එක්කෙනාගෙ දිනුම වගේම පැරදුම එක්ක සහයෝගෙන්. අපි නැති කාලෙටත් ඔයාලා දෙන්නා අතර තියෙන්න ඕන පුංචි කාලේ වගේම එකමුතුවක් .”

ඔය වගේ අවස්‍ථා ආවම දෙන්නා එක්කම මම වෙන වෙනම කතා කරනවා.

දරුවන් වැඩිපුර bully වෙන්නෙ ගෙදරින් ! ඒක මඟ අරින්න අපි දැනගන්න ඕන.

මට මතකයි ඉස්සර මගෙ මිතුරියක් එයාගෙ අයියයි මල්ලියි එක්ක තරහයි . ඒකට බලපෑවේ එයාගෙ අම්මා තාත්ත දරුවන්ට කල ලොකුම බලපෑම . එයා ඒ ගැන නිතරම කියා තියෙනවා.
තනියම හැදෙන දරුවෙක් වුණත් සහකම්පනය නැත්නම් සමාජයට ගියාම අවුලක් !
ඒ වුණත් මේවා අමාරු දේවල් නෙවේ. අවබෝධය තමයි වැදගත් .
Comprehensive parenting !

අද සෙනසුරාදා . අපිට ඉතින් ටියුෂන් පන්ති පස්සෙ දුවන්න නැහැනේ.
ගිය සෙනසුරාදා පුතාගේ කැමැත්තට ලේක් පාර්ක් එකේ හොඳට සෙල්ලම් කරලා ආවා.
එදා අපිට යන්න වෙලාව මදි වූ නිසා, අද පුස්තකාලයට යන්න ඕනෑ කියලා එදාම දුව මාව පොරොන්දු කර ගත්තා .

පුස්තකාලයේ පැය කීපයක් ගත කරලා හැමෝම ආසා දේවල් කන්න බොන්න අරන් දීලා දවසේ වරුවක්ම එළියේ ගෙවලා ගෙදර ආවා.
නිවාඩු දවසට දරුවන්ගේ තිර කාලය ( screen time ) අවම කරන්නට කල හැකි දේ බොහෝමයි.
ඒ අතර පුස්තකාලය සහ පාර්ක් එක කියන්නේ වඩාත් හොඳ තැනක් .

Categories
අවමවාදී පවුල මනස පුහුණු කිරීම මනස පුහුණු කිරීම කොයිතරම් නම් වටිනවාද ...

නිදහසේ මාවත සොයාගත් ඇය

ඇස් ඇරෙන වෙලාවේ පටන් නින්දට යනකල්
කලබලකාරී හෝරාවන් අස්සේ ඇය සෙව්වේ නිදහස..

රැකියාවට සමු දීමත් සමඟ පැන්ශන් එක නැතිකරගන්න පිස්සුදැයි ඇසූ අයට වැඩිපුරම සිනාවෙන් පිළිතුරු දෙන්නට හැකිවීම යම් සහනයක් වුණත් මිනිස්සුන්ගෙ කතා වලට නොවැටී ඉන්න තරම් ලොකු හයියක් ඒ කාලේ ඇයට නොතිබුණ නිසා හිත අවුල් වෙන අවස්ථා නොතිබුණාම නොවේ.

ඒ වුණත් ඇයගේ ශක්තියට හිත වැටෙන හැම වෙලාවකම ඇයව ඔසවා තබන්න ඔහුට හැකි වුණා.

අලුත් ගෙදරකට මාරු වෙන වෙලාවේ භෞතික නිදහස උදා කරගන්න පුළුවන් වේ කියලා ඇය විශ්වාස කලා.
ඒ එක්කම මානසික නිදහස උදා වෙන බවත් ඇය තදින්ම විශ්වාස කලා.

ගෙදර දේවල් ගැන සම්පූර්ණ නිදහස් තීරණ ගන්න අයිතිය තියෙන්නෙ ඇයට බව හොඳාකාරවම දන්නා දෙයක් වගේම,
කන් පිරෙන්න උපදෙස් දෙන්න අය නැති එකම සැනසීමක් .

“කොහොම වුණත් අවමයෙන් අත්‍යාවශ්‍යම දේවල් එක්ක ආරම්භ කරන්න ඕන ” ඔහුත් එක්ක කතා කලාම ඇය ඒ විදියට තීරණ වලට ආවා.

ඊට හරියන්න ලැයිස්තුව සැකසුවා.
අඩුපාඩු මොනවද කියලා හෙමීට හිතන්න පුළුවන් .
මේ හොඳටම ඇති .

අලුත් ගෙදරට බඩු යවපු දවසේ ඒවා ප්‍රවාහනය කල අය ඇඳන් , අල්මාරිය , ශීතකරණය, රෙදි සෝදනය, මේසය සහ පුටු කිහිපය කලින් පෙන්වූ ආකාරයට නිසි තැන් වල තබා තිබූ නිසා ඇයට තිබුණේ අනෙකුත් දේවල් අසුරාගන්න

පුංචි පැටව් දෙන්නා එක්ක ඕක ලේසි වෙන එකක් නැහැ කියලා වැඩිහිටි කීපදෙනෙක්ම දහ වතාවකට වඩා කියන්න ඇති .
ඒ වුණත් ඇය නිහඬවම වැඩ කරන්න ඕනෑ ආකාරය සැලසුම් කරලා තිබුණා.

ඇයට ඔහුගෙන් ලැබෙන සහායේ අඩුවක් නොමැතිකම එක්ක ඕනෑම වැඩක් කරගැනීම අපහසු දෙයක් වුණේ නැහැ.

අලුතින් දේවල් මිලට ගන්නවා හා සමානව දේවල් ඉවත් කරන්න වෙන බව ප්‍රායෝගික කාරණාවක් වගේම
ඒ විදියට එකතු වෙන්නේ අපද්‍රව්‍ය නම් පරිසරයට ඉන් ඇති කරන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන් ඇය සතුටුදායක නැහැ.

බිම පෙරළෙන , බඩගාමින් යන දරුවන්ගේ ආරක්ෂාව , සුවපහසුව සඳහා මුල්තැන දෙමින් අත්‍යාවශ්‍යම දේවල් එක්ක ජීවිතය ගෙවන ඒ මුල්ම කාලයේ
වැඩ ගොඩ ගැසෙනවා වෙනුවට මහන්සිය අඩු දවස් ගෙවන්න හොඳින්ම අවස්ථාව ලැබුණා.

නිදහස් හිස් අවකාශ නිසා ඔලුවට නිදහසක් වගේම පහසුවෙන් හුස්ම ගන්න පුළුවන් අවකාශයක්,
ඇසට විවේකයක්
මැසිවිලි අවම සන්සුන් නිවසක් …


ඔව් !

හැමවිටම ප්‍රීතියෙන් නිස්කලංකව ජීවිතය ගෙවෙන්නට හේතු වුණා .

අදටත් , ඒ කාලයෙන් අවුරුදු හත හමාරකට පසුත් ඇය ඒ නිදහසේ සුවය විඳිනවා෴

මේ සටහනේ ඇය මමයි.

මේ විදියට වෙනස් කරගත් ජීවිත කතාවේ අවස්ථා ලියන එක මට ලොකු සතුටක් .

(තව කොටසක් ආයෙම ලියන්නම් . දැනට මේ ඇති . වැඩි විස්තර සරල මං පොතේ තියෙනවානේ)

Categories
මූල්‍ය කළමනාකරණය

ගෙදරකට අවශ්‍ය බඩු ලැයිස්තුව හදා ගන්නේ කොහොමද ?

ලොකු අය දෙන්නයි පොඩි එක්කෙනයි.
අපිට මාසික බඩු ලැයිස්තුව හදාගන්න උදව් කරන්න !

ලොකු අය පහයි පොඩි අය දෙන්නයි අපිට මාසෙකට යන වියදම් කොහොම වෙයිද ?

මේ වගේ ගැටළු දිනපතාම නිර්නාමිකව පලකරන්න කියලා ෆේස්බුක් ගෲප් එකට එන නිසා ඒ ගැන පොදු සටහනක් මෙසේ ගේනවා.

පොදු දේවල් ඇරුණාම නිවසින් නිවසට පරිභෝජනය කරන දේවල් වල වෙනස්කම් තියෙන්න පුළුවන් .

(කන බොන දේවල් කැමති අකමැති දේවල් ..
පාවිච්චි කරන බඩු වල සමහර බ්‍රෑන්ඩ්ස් )මෙන්න මේ වගේ

අලුතින්ම විවාහ වෙලා වෙනම ජීවත් වෙන්න යනවා හෝ තමන්ගේ වියදම් පාලනය කරගන්න ඕනෑ යැයි සිතන කාටත් මේ ක්‍රමය හොඳයි .

සහල් පරිප්පු වගේ වියළි ආහාර ලැයිස්තුවක් සමඟ දළ වශයෙන් ප්‍රමාණය සටහන් කරගන්න.

සනීපාරක්ෂක ද්‍රව්‍ය , ගිනි පෙට්ටි, ගෑස් ඇතුළු සෑම බඩුවක්ම එලෙස සටහන් කරගන්න.
එළවළු පළතුරු මස් මාලු බිත්තර ආදියත් දළ වශයෙන් සටහන් කරගන්න.

මුලින්ම ගන්නා විට පුළුවන් හැම එකේම කල් ඉකුත් වන දිනය සටහන් කරන ලද ,
පැකට් කල වියළි ආහාර ද්‍රව්‍ය මිලට ගන්න.

සාමාන්‍යයෙන් මම නිශ්පාදිත දිනය සහ ඇසුරුම් දිනය ගැන වඩාත් සැලකිලිමත් . ඒ දෙක පුළුවන් තරම් ළඟ දිනයක් වන බඩු තමයි ගන්නේ. ඒ කියන්නේ අලුත් කියලා අනුමාන කරලා.

එසේ නොමැතිව මිලදී ගැනීම් කලාම ගුල්ලන් ඇවිත් ඉවත් කරන්න පවා සිදුවෙන්නට පුළුවන් .

පරිභෝජනය ආරම්භ කල දා සටහනක් දාගෙන ගෙනා බඩු අවසන් වන දවස ද සටහන් කරගන්න.

ඒ අනුව දින 30කට වගේ උවමනා ප්‍රමාණය බලාගන්න පුළුවන් .

මාසෙටම නැතුව ඊට අඩුවෙන් යන ප්‍රමාණය වුණත් මේ විදියට සටහන් කිරීම් තුලින් අවබෝධ කරගන්න පුළුවන් .

මාස දෙකක් වගේ යනකොට අලුතින්ම නිවසක පදිංචි වෙලා / බෝඩිමක හෝ ඉන්නා කෙනෙක්ට වුණත් පුළුවන් තමන්ට හෝ පවුලට උවමනා බඩු සහ ඒවායේ ප්‍රමාණ ගැන හරි අවබෝධයක් ගන්න.

ඊළඟට ඔබේ ආදායම අනුව ඔබේ බඩු ලැයිස්තුව පිළිවෙලකට සකස් කරගන්න.

බඩු ගන්නේ තොග බඩු කඩයෙන් සුපර්මාර්කට් එකෙන් , ෆාම් ශොප් එකෙන් ආදී මේ විදියට ගන්න තැනත් බඩු එක්කම සටහන් කරන්න .

සමහර දේවල් හැම මාසයේම ගන්න වෙන්නෙත් නැහැ .

ඒ වෙනුවට වෙනත් දෙයක් ගන්න හෝ අවශ්‍යතාවය නැත්තම් යමක් නොගෙන බඩු ලැයිස්තුවේ මිල අඩු කරගන්නත් පුළුවන් .

ඔයාලගෙ වටිනා අදහස් එකතු කරන්න .

Categories
Sinhala Categories ඉවත් කිරීම් මූල්‍ය කළමනාකරණය විලාසිතා

කඩා වැටෙන ඇඳුම් අල්මාරි – 2 කොටස

අවම ඇඳුම් භාවිතයට මම හුරු වූ හැටි ෴

අපේ විවාහයට සතියකට කලින් හස්බන්ඩ් එයාගේ සියලුම ඇඳුම් කුඩා බෑග් දෙකකට අසුරා මගේ ගෙදරට ගෙනත් දෙනවා.
(ඒ දින කීපයට ඔහුට අවශ්‍ය ඇඳුම් කීපය පමණක් ළඟ තබාගෙන.)
අපිට විවාහය එක්කම ඈතකට යන්න වෙන බව දන්නා නිසා මගෙත් අත්‍යාවශ්‍යම ඇඳුම් මොනවද කියලා තෝරගන්න මටත් සිදුවුණා.

පැදුරු දෙකක් බිමට එලලා මගේ අල්මාරි දෙකේ ඇඳුම් සියල්ල ඒවාට දැම්මා.

එක දවසක්ම අරගෙන මම මගේ ඇඳුම් වෙන් කලා.

ඇඳුම් එකින් එක බලමින් අඳින්න පුළුවන් ,
අඳින්න කැමති ,
අඳලවත් නැති ,
අඳින්නත් බෑ ඉවත් කරන්නත් ලෝබයි.
අඳින්නම බැහැ..
මේ විදියට ඒ ඇඳුම් සියල්ල වෙන් කලා.

හස්බන්ඩ් ගේ ඇඳුම් පිළිවෙත ගැන කල්පනා කලා .
වෛද්‍යවරයෙක් වූ ඔහු ඔහුගේම විදියට ඕනෑම තැනක හරි සතුටින් ඉන්නවා නම්, මටත් පුළුවන් නේද සරල වෙන්න කියන කාරණාව ගැන මම කල්පනා කලා .

ඉන්පසුව අඳින්න කැමති සහ අඳින්න පුළුවන් ඇඳුම් ටික පමණක් තෝරාගෙන
ඉතුරු ඒවාගෙන් තවත් කෙනෙක්ට ප්‍රයෝජනයට ගන්න පුළුවන් ඇඳුම් වෙන් කලා.
ඒවා මම සීමාවාසික ඖෂධවේදියෙක් ලෙස පුහුණු වූ රෝහලේ පිරිසිදු කිරීමේ කාර්‍යමණ්ඩලයේ කාන්තාවකට ලබා දුන්නා.(ඊට කලිනුත් මම ඇයට එහෙම දෙනවා)

දැන් මට පුදුම නිදහසක්. ඒ වගේම සතුටුයි .

ඉතුරු ඇඳුම් ගොඩ අතරින් අත් පිස්නා ආදිය මහන්න පුළුවන් ඒවා අරන් කපලා අත්පිස්නා – මේස පිස්නා ආදිය මැසුවා.

හොඳම තත්වයේ සාරි කීපයක් නෑදෑ වෙන කීපදෙනෙක්ට දුන්නා.

අවසානයේ මට ගමන් අඳින්න ඩෙනිම් දෙකක් ටී ශර්ට් 3 ක් ගවුම් 4 ක් වගේ ප්‍රමාණයක් ඉතුරු වුණා මතකයි .

දැනටත් මම මාස 6 කට විතර වරක් decluttering කරනවා. එතනදීත් ඇඳුම් අර වගේම වෙන් කරලා හොඳ ඒවා අවශ්‍ය කෙනෙක්ට දෙනවා.ඒත් ඉස්සර වගේ දැන් එහෙම ඉවත් කරන්න මගේ සහ හස්බන්ඩ් ගේ ඇඳුම් නම් නැතිම තරම්.

දරුවන්ටත් මේ ක්‍රමේම තමයි මම අනුගමනය කරන්නේ . එයාලත් ඉක්මනින් ලොකු වෙන නිසා ගෙදරට අඳින ඇඳුම් ටිකක් වැඩියෙන් තිබ්බට ගමන් අඳින ඇඳුම් හරිම අඩුවෙන් තියෙන්නේ.

දුවට , සාද හෝ විවාහ උත්සව වගේ ඒවට දිලිසෙන ඇඳුම් , නෙට් ඇඳුම් වගේ ඒවා අන්දන්නේ නැහැ.
පහසු කොට්න් ගවුම් තමයි අන්දන්නෙ,
එතකොට පාටි ඇඳුම් කියලා නිකරුණේ වියදම් කරලා එක පාරින් දෙපාරින් ඉවත් කරන්න වෙන්නෙත් නෑ .

මම වෙඩිං වලට ගොඩක් වෙලාවට අඳින්නෙම තනි පාට ගවුම් .
ඒ සඳහා මට ගවුම් දෙක තුනක් තියෙනවා. කරාඹු සපත්තු හෝ බෙල්ට් මාරු කරමින් පුංචි වෙනස්කමක් කරලා කොණ්ඩයට පොඩි වෙනස්කමක් කරලා ඒ ගවුම් කීපයම දැනට අවුරුදු 5 ක් පුරාවටම අඳිනවා.
( දරුවන් ලැබුණාට මගේ ශරීරයේ ප්‍රමාණය වෙනස් වුණේ නැති නිසා)

සාරි වලටත් අනුගමනය කරන්නේ ඒ ක්‍රමය. හැට්ටය මාරු කිරීම සහ අඳින විදිය වෙනස් කිරීමෙන් ඒ ක්‍රමයම යොදාගන්න පුළුවන් .

කාට හරි මේක විහිලුවක් වගේ හිතෙන්න පුළුවන් .
තැනකට ගියාම ලැජ්ජාවට පත් වෙන්න වෙයිද හිතෙන්න පුළුවන් .

අවමවාදියෙක් වෙන්න ඇත්තටම පහසු නැහැ.
හිත පාලනය කරගැනීම බලෙන් කරන්න පුළුවන් දේකුත් නෙවේ.
හරියටම අත්‍යාවශ්‍යම දේවල් වලට අවධානය දෙනවිට ජීවිතයේ අරමුණු පැහැදිලි වෙනකොට මේ ක්‍රමයට හුරු වෙන්න පුළුවන් .

අවමවාදී ජීවන රටාවකට අනුගත වුණාම අනික් අයගේ ඇස් වලින් ලෝකය බලන එක නතර කරලා තමන්ගේම ඇස් වලින් ලෝකය දෙස බලන්නටත් තමන්ට තියෙන දේවල් එක්ක ආත්මාභිමානයෙන් ඕනෑම තැනක ඉන්නටත්,
වෙනස් වෙන ලෝකයේ තමන්ගේම විදියකට ජීවත් වෙන්නටත් හැකි වෙනවා.


“පරිසර හිතකාමී ජීවිතයක් නේද මම මේ ගෙවන්නේ “යැයි සිතමින් තව දුරටත් සරල වෙන්න පුළුවන් අවස්ථා ගැන උනන්දු වෙනවා.

එතකොට අනුකරණය කරන්න සන්සන්ඳනය කරන්න මතක් වෙන්නේ වත් නෑ.. තමන් ගැනම ලොකූ සතුටක් ඇති වෙනවා.

මේවා බලන් ඉන්න දරුවන්ද ඉබේම මේ සරල ක්‍රමයට හුරු වෙනවා.

ජීවිතයේ නිදහස් බවක් සැනසිල්ලක් වගේම අත්‍යාවශ්‍ය වෙනත් දේවල් වලට වියදම් කරන්න මුදල් පවා ඉතුරු වෙනවා.

සරල ජීවන රටාවක් එක්ක දියුණු වෙන්න, සාර්ථක වෙන්න පුළුවන් මාර්ග සොයා ගන්නත් මේ විදියට හරිම පහසුයි.

තවත් සටහනකින් හමුවෙමු.

අදහසක් ලියා තබන්න .

Categories
මනස පුහුණු කිරීම

මනස පුහුණු කිරීම කොයිතරම් නම් වටිනවාද ….

ලෙඩක් හැදීගෙන එනකොට , යම් කායික අපහසුතාවයක් ඇති විට කේන්ති එන්න පුළුවන් .
වේදනාවන් එක්ක මානසික සුවදායීතාවය අතුරුදන් වෙලා යන එක සාමාන්‍යයි.

ඉස්සර , ඒ කියන්නේ අවුරුදු අටකට නවයකට කලින් සෙම්ප්‍රතිශ්‍යාව වැනි සුළු අසනීප තත්වයන් වුණත් මතු වෙත්ම මනෝභාවයන් වල වෙනස නිසා ,
මගේ අවට ඉන්නා අය එයින් කොයිතරම් පීඩාවිඳින්නට ඇද්ද කියලා මම දන්නේ නැහැ.

මනස පුහුණු කිරීම කියන වටිනාම ගුණාංගය අනික් සෑමදේකටම වඩා ඉහළින් ඇති දෙයක් විදියට
අමවවාදී ජීවනරටාවට අනුගත වෙන්න පටන් ගත් කාලේම දැනෙන්නට ගත් නිසා ටිකෙන් ටික මගේ යහපත් වෙනස්කම් පරීක්ෂාවට ලක් කරන්න මම පුරුදු වුණා.

කායික අපහසුතාවයකදී සන්සුන් මනසක් තබා ගන්නට ටිකෙන් ටික පුහුණු කලා.

අසනීපයක් වුණාම ඉක්මනින් සුව වෙන්න එයින් ලැබෙන රුකුල අතිමහත් !

කරන්නට නොහැකි දේවල් ගැන වද වෙනවා වෙනුවට අසනීපයෙන් ඉන්නා විට බෙහෙත් , කෑම , වතුර සහ විවේකය කියන දේ ප්‍රමාණවත්ව ගැනීමෙන් ඉක්මනින් සුව වෙන්නට ඉඩ ලැබෙනවා.

එතනදී මානසික සුවදායීතාවය අංක එකටම එනවා.

සහයෝගය ලැබෙන පවුලක් තුල මේ දේ කිරීම ඉතාම ප්‍රායෝගිකයි.
මේක සහකරු හෝ සහකාරිය තෝරාගැනීම නිවැරදිවම කරන්න ඕනෑ ආයෝජනයක් කියලා හොඳටම දැනෙන්න ගන්න අවස්ථාවක් !!!!!!

තනියම නිවසින් හෝ ඈත් වෙලා ඉන්නා කෙනෙක්ට වුණත් කෑම ගෙන්වාගන්නා වැඩ පිළිවෙළක් සකසා ගත්තාම විවේකෙන් ඉඳලා ඉක්මනින් සනීප වෙන්න පුළුවන් .

රෙදි සෝදනය වැනි වැඩ පහසු කරවන උපකරණ එක්ක ඉස්සර වගේ පැල් බැඳගෙන රෙදි සේදීම් ආදියත් කරන්නට ඕනෑ නැති නිසා,
අනික් වැඩ සියල්ල පසුවට කල් තියන්න තරමට අවශ්‍ය නොවෙන්නෙත්, අවමවාදී නිවසක් තුල විශේෂයෙන් නිර්මාණය වන භෞතික අවුල්ද අඩු නිසා.

Categories
අවමවාදී පවුල ඉවත් කිරීම් මනස පුහුණු කිරීම මූල්‍ය කළමනාකරණය

සතුට සැනසීම පිරි ජීවිතයක්…

මට කතා කල යාලුවෙක් කියනවා ඔයා නම් දිනලා ඉවරයි කියලා .
ඇත්තටම අපි කතා කලේ ජීවිතය ගැන.
අපේ වයස එක්ක වැඩිපුරම අපේ සෞඛ්‍ය ගැන .

ගොඩක් අය අවුරුදු පනහ , පනස් පහ සමහරවිට අවුරුදු හැට වගේ වෙනකොට විශ්‍රාම අරන් සතුටින් ඉන්නට ඕනෑ යැයි සැලසුම් කරනකොට කෝච්චිය ගිහින් හමාර වෙන්න පුළුවන් .

මම අවුරුදු තිහෙන් වගේ ආරම්භ කල වෙනස එක්ක මම කැමතිම විදියට මගේ ජීවිතය ගෙවෙනවා කියන එක සත්‍යයක්.

ඒ වෙනුවෙන් මම කල සමහර කැපකිරීම් හෝ අතහැරීම් හෝ හැමෝටම එකම ආකාරයට ගැළපෙන්නේ නැහැ.

ඒ කාලේ මට ඕන වුණේ සාමාන්‍ය රටාව වෙනසක් කරගන්න.

පවුලක් ඇතුලේ තියෙන සහයෝගය එක්ක ඒක හොඳින්ම කරන්න පුළුවන් ද බැරිද යන්න තීරණය වෙනවා.

මම එසේ වෙනස් නොවුණා නම් ,
මම හිටපු විදිය එක්ක ,
තරඟකාරී ලෝකය තුල හෙම්බත් වූ ජීවිතයක සාඩම්බර හිමිකාරියක් වෙන්න ඉඩ තිබුණා.

සාමාන්‍ය මිනිස්සු විදියට අපි කවුරුත් මලෙන් උපන් අය නෙවේනේ,
ඉතින් එපා වීම් තිබුණා. කඩාවැටීම් තිබුණා. මගේ නරක ගති බොහෝමයක් තිබුණා. !!

මම හිතන්නේ ඒවා හරිම සාමාන්‍යයි.

නමුත් මට ඕන වුණේම , ජීවිතය නිදහසේ ගෙවන්නේ කොහොමද කියලා වෙනසක් කරගන්න.

මාව තේරුම් අරන් මාව වෙනස් කරගන්න. ඒක මම ටිකෙන් ටික කලා.
ඉන්පස්සේ ලැබුණු හැම යහපත් වෙනසක්ම මේ ජීවනරටාව එක්ක මට ලැබුණු දේවල්.

ඒ නිසාමයි “සරල මං ” පුංචි පොත වුණත් මගේ අත්දැකීම් ඇසුරෙන්ම ලියවුණේ.

ටිකෙන් ටික ඇති කරගත් වෙනස්කම් එක්ක හැමදේම සන්සුන්ව සිදුවෙන්නට වුණා.

අදටත් ,හැමදවසකම මම මට ඉලක්ක තියා ගන්නවා.
“වතුර ලීටර දෙකක් පානය කිරීම වගේ “ඒවා හරිම පුංචි ඒවා වෙන්න පුළුවන් .
නමුත් පුංචි වුණත් ඉලක්ක තබාගෙන වැඩ කිරීම දවස් සතුටින් ගෙවෙන්න හේතුවක් . දවස අවසානයේ මම දිහා තෘප්තිමත් හැඟීමෙන් බලන්න ඒ පුංචි ඉලක්කය වුණත් මට හරිම වැදගත් .

මම සතුටින් සිටීම මා වටා බැඳුණු පවුලේ සාමාජිකයන් පවා සතුටින් ඉන්න හේතුවක් .

ඒවා එකින් එක මේවායි කියලා මම විස්තර කරන්නේ නැහැ , අපි එකිනෙකා ඉලක්ක විදියට තබාගන්නා දේවල් පුද්ගලානුබද්ධයි නේ.

කොහොම වුණත් මම එක්කම මම තරඟ කරනවා. දරුවන් පවා ඒක දකිනවා.
මොකද මම ඒ ගැන එයාලා එක්ක කතා කරනවා.

“අනික් අය කොහොමද කරන්නේ , මොනවද කරන්නේ ඊට වඩා මම කරන්න ඕනේ කියන දේ වෙනුවට ,
මම අද ඉන්නෙ කොහොමද – අදට වඩා හෙට වෙනකොට මගේ වෙනස් කරගන්න ඕන මොනවද කියන දේ එයාලගේ ඔලුවට වැටිලා තියෙන එකම සතුටක්.

ඒක මම ෆීඩ්බැක් එකක් විදියට එයාලගෙන් දකිනවා
සහ එයාලා මටත් මතක් කරලා දෙන අවස්ථා ද තියෙනවා.

අරමුණු , ඉලක්ක තියාගන්නා ගමන් මේ මොහොතේ සතුටින් සිටීම ජීවිතය පහසු කරනවා. ෴

Categories
අවමවාදී පවුල

දරුවන් එක්ක අත්දැකීම් සහ මතක අහුලාගන්න කාලය කොයිතරම් සුන්දර ද …

මම ඒ දෙන්නා නිදාගන්න යන සමහර දවස් වලට එයාලාට යනකල් එතන රැඳෙන්නේ නැහැ.
ඒ වුණත් දෙන්නටම ඕනෑ මාව ගෙන්වගෙන නින්ද යනකල් තියාගන්න. මොනවහරි කියවන්න , ඒ නැතත් ඔයා වාඩි වෙලා හරි ඉන්නකො අම්මී කියලා කියනවා.

සමහර දවස් වලට එහෙම ආවාම අපි තුන් දෙනා කියව කියව ඉන්නකොට ගොඩක් රෑ වෙනවා.

එහෙම වුණත් ඒක හරි වටිනා කාලයක් , සමහරවිට පැයක් විතර . 💙

මොකද මට මඟ ඇරෙන්නේ ෆේස්බුක් එකට හරි යූටියුබ් එකට හරි රිංගන කාලය. ඉතින් ඊට වඩා හැබෑ ජීවිතය , මේ ගෙවන කාලය මොනතරම් වටිනවාද ..

ඔහොම ගෙවෙන කාල දන්නෙම නැතුව අවසන් වෙනවා.

අපේ දරුවන්ට දැන් අපි ළඟට ඇවිත් කියව කියව ඉන්න වෙලාව නැහැ කියලා ළඟදී දවසක හිතවත් සොයුරියක් කීවා වගේම ,
මම දවසක් ෆේස්බුක් සටහනකත් දැක්කා දරුවන් ආදරයෙන් වැළඳගන්න පුළුවන් කාලේට ඒක මඟ අරින්න එපා සහ වඩා ගන්න පුළුවන් වෙන අවසන් දවස කවදාදැයි කියන්න බැහැ කියලා .

ඕක මතක් වෙලා මම ගිය සිකුරාදා පුතාව වඩා ගන්න උත්සහ කලා නමුත් මට දැන් ඔහුව වඩාගන්න නොහැකි තරමට ඔහු බර නිසා අපි දෙන්නම ඇදගෙන වැටුණා.
ඒක කලින්ම කතා කරගෙන වැටුණත් අවුලක් නැති තැනක තමයි මම ඔහුව වඩා ගත්තේ .


ඉතින් අපි දෙන්නටම හිනා !!

මම ටික වෙලාවක් අතීත මතක වලට ගිහින් කල්පනා කලා.
ඔහුව අවසන් වරට වඩා ගත් දවස මට දැන් මතක නැහැ.

ගිය අවුරුද්දේ වෙන්න ඕන . අපි ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ! ඔව් ඒ කාලේ ඔහු මීට වඩා බර පොඩ්ඩක් හරි අඩු නිසා, මට යාන්තම් මතකයි මේ නිවසට එන්න කලින් අපි මුලින්ම ආව නිවසේදී වඩා ගත් බව !!

පවුලක් විදියට ගෙවල් පිරිලා තියෙන කාලය අසීරුතා දැනෙන්නට පුළුවන් බව ඇත්තක් වුණත් , සමහර දේවල් සිදුවන්නේ අවසන් වතාවට කියලා දැනෙන්නෙ නැහැ.

අපි මේ ඉන්න විදිය හොඳයි නේද අම්මී?
අපිට මේ තියෙන දේවල් ඇති නේද ?
කොහෙ හිටියත් අපි හතරදෙනා එකට ඉන්න එක තමයි හොඳම දේ කියලා
එයාලා කියන එකට මම කැමතියි .

සුන්දර මතකයන් එක්කලා, දරුවන් ඉක්මනින් ලොකු වෙනවාට මම කැමතියි.

මේක ලීවේ අද එයාලාට නින්ද යනකල් එතන හිටපු වෙලාවෙන් පස්සේ විනාඩි දෙකක් අරන් !

Categories
මනස පුහුණු කිරීම සෞඛ්‍යය

අවමවාදී මනසක් – සන්සුන් ජීවිතයක් !

මට කවුරු මොනව කීවත් මම හිනාවෙලා ඉන්නවා.

මගෙ වරදක් නම් අනිවාර්යයෙන් ම හදාගන්නවා.

මගෙ වරදක් නැත්නම් ඒ කෙනා ගැන අනුකම්පා කරලා අමතක කරනවා .

ඉස්සර වත් මම ආපස්සට බණින්න ගිහින් නෑ. නමුත් ඉස්සර මගේ වැරදි කියන අය එක්ක කේන්ති ගත්තා , දුක් වුණා.
ඒවා ගැන කල්පනා කරන්න කාලය යෙදෙව්වා .

ඒ ඔක්කොම හරිම නිශ්ඵලයි කියලා කාලයත් එක්ක මම තේරුම් ගත්තා .

ඒ නිසා මගේ හිත රිදවාගන්න එකත් නවතා දැමුවා.

ඒකෙන් මට මහත් සැනසිල්ලක් දැනෙනවා.
මෙහෙම ඉන්න නිසා කාලෙකින් එහෙම ගැටීම් වගේ අවස්ථා හෝ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙලා නෑ.
ඒ කියන්නේ මතක ඇති කාලෙක කවුරුත් ගැටෙන්න ඇවිල්ලා නෑ.මම ගැටෙන්න ගිහිනුත් නෑ.

මම ළඟින් ඇසුරු කරන අය බොහෝම සීමිත වීම සහ අත්‍යාවශ්‍ය දේවල් වලදී ඕනෑම කෙනෙක් එක්ක හොඳ අවබෝධයකින් සම්බන්ධ වීමට ඇති හැකියාව නිසා ගැටුම් නැතුව සතුටින් ඉන්න පුළුවන් කියන එක අත් විඳිනවා.

Minimalism ගැන ඉගෙන ගන්න සොයන්න පටන් ගත්තාට පස්සේ ජීවිතයට ඒ දේවල් එකතු කරගන්න පටන් ගත්තට පස්සේ භෞතික දේවල් , භෞතික අවශ්‍යයතා වලට කලින් ( අවමවාදී මනස පුහුණු කිරීම ) mindset practice හරිම වැදගත් බව තේරෙනවා.

සතුටින් ඉන්න.
කොයිම තැනක වුණත් නොගැටී ඉන්න පුහුණු කලාම හරි සැහැල්ලුයි 🤗

Categories
මූල්‍ය කළමනාකරණය

ගෙදර වියදම් පාලනය කරගමු.

ගෙදර වියදම් පාලනය

මේක ඉතින් හරි සංකීර්ණයි.
හරියට කෑම පාලනය කරගෙන ඇඟ අඩු කරගන්නව වගේ.

මම ඒ උදාහරණය ගත්තේ පහසුවටමයි.

හිතන්න ඔබට ගෙදර වියදම් අඩු කරගන්න ඕන .
නමුත් කොහොමද කරන්නේ කියලා අදහසක් නෑ වෙන්න පුළුවන් .

ගෙදර වියදම් ලක්ෂයයි නම් ඒක එකපාරටම පනස්දාහට අඩු කරන්න උත්සහ කරන්න එපා .

මගේ බර වැඩි නම් මම කෑම වේල් පහක් ගන්නවා නම්,
එකපාරටම කෑම වේල් තුනකට අඩු කරගන්න බෑනේ.

ඒකට කරන්න ඕන එක වේලක ප්‍රමාණය අඩු කරන එක වගේම සෞඛ්‍යමත් ආහාර ගන්න එකත් ව්‍යායාම වලට යොමුවීමත් වගේ නිසි රටාවකට කරගන්න එක.
එහෙම ක්‍රමානුකූලව කාලයක් කරගෙන යනකොට ඔබේ අරමුණට ළං වෙන්න පහසුයි .

ඉතින් මේ වගේම වියදම් පාලනය කිරීමත් ක්‍රමානුකූලව කරන්න ඕන එකක්.

එක මාසෙක සම්පූර්ණ වියදම් පොතක් අරන් ලියන්න .
ආරම්භයේ නම් සියල්ලම ලියන්න ඕන.
නැත්තම් අවබෝධයක් ගන්න බැහැනෙ.
(බස් ටිකට් එකේ මිල පවා.)

මුලින්ම ගත්ත බඩු වලට ඉදිරියේදී මිල සටහන් කරන්න .

ඒ බඩු ඒ මාසයේ වැය වන ආකාරය සටහන් කරන්න.

ඉතුරු වෙන බඩු සහ ඒවායේ ප්‍රමාණ සටහන් කරගන්න.

ඒ අනුව වැය වූ දේවල් සහ ප්‍රමාණ සටහන් කරගන්න.

වැඩි ප්‍රමාණ වලින් ගේන්න පුළුවන් බඩු ලාබදායී වෙලාවට වැඩියෙන් ගේන්න.
උදා. සේදුම් කුඩු ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් පැකට් දෙකක් ගන්න පුළුවන් .

දැන් මේ විදියට පරිභෝජනය කරන සහ ඉතුරු වෙන බඩු ගැන අවබෝධයක් ගත්තාම ඊළඟ මාසෙට අඩුවෙන් ගන්න ඕන බඩු සහ ප්‍රමාණ ගැන වැටහීමක් එනවා.

මාස කීපයක් මේ ක්‍රමය කලාම බඩු අඩු / වැඩි කරගෙන වියදම් පාලනය කරගන්න පුළුවන් වෙනවා.

ඒ අතරේ ඔබේ බඩු ලැයිස්තුවේ කපා හරින්න පුළුවන් බඩු ගැන අවධානය දෙන්න.

ඔබ සෞඛ්‍යමත් ජීවිතයක් ගෙවන්න කැමති බෙහෙත් අඩුවෙන් බොන්න කැමති කෙනෙක් නම්,
සෞඛ්‍යමත් නොවන ආහාර පරිභෝජනය අඩු කරන්න .
ඒවාට තමයි සාමාන්‍යයෙන් වැඩි මිලක් යන්නෙත්.

ලෙඩ වුණොත් බෙහෙත් වලට යන වියදම් ,පරීක්ෂණ වලට යන වියදම් බොහෝම ඉහළ බවත් අමතක කරන්න එපා.

ගෑස් සිලින්ඩරය සවිකල දා ගැන සටහනක් දාගන්න.
ලිප පිරිසිදුව තබාගැනීමෙන් ගෑස් හානිය වලකනවා.
නිල් දැල්ල පාවිච්චි කරලා අඩු ගින්දරේ කෑම පිසින්න.
ඒක සෞඛ්‍යටත් හිතකරයි .

ලයිට් බිල වතුර බිල මනු කියවන්නා ආ දාම සටහනක් දාගන්න.
යුනිට් ගණන සහ දිනය.
දවස් පහෙන් පහ හෝ කැමති විදියට ඒවා චෙක් කරන්න .
දවසකට යන යුනිට් ගණන ගැන අවබෝධයක් ලබා ගන්න.

ගෙදර වතුර වෑස්සෙන කරාම වගේ ඒවා අලුත්වැඩියා කරගන්න.
ගෙදරින් එළියට යනකොට නිවසට සැපයුම් ජල නළය වසා දමා යන්න.

පාවිච්චි නොකරන විට චාජර් පවා ගලවා විසන්ධි කර තබන්න.
නිකරුණේ වැඩ කරන රූපවාහිනී එහෙම බලන්න කෙනෙක් නැත්තම් ඕෆ් කරන්න .
ඇඳුම් ඔක්කොම එකට අයන් කරන්න .
වොශිං මෙශින් එක පාන්දර ක්‍රියාත්මක කරන්න පුළුවන් .
මිලෙන් වැඩි , වගකීම් කාලයක් තියෙන LED බල්බ් පාවිච්චි කරන්න .
බාල විදුලි උපකරණ පාවිච්චි කරන්න එපා.
කාමරයකින් එළියට එනකොට ලයිට් එක ඕෆ් කරන්න කියලා ගෙදර හැමෝටම මතක් කරන්න.

තව මට අමතක වූ කරුණු එකතු කරන්න .

මීට අමතරව වාහන ඉන්ධන වියදම් , ටෙලිෆෝන් බිල් වියදම් ආදියත් මේකට එකතු කරගන්න පුළුවන් .

හැම මාසෙම බෙහෙත් වලට එහෙම වියදම් යනවා නම් ඒවාත් වෙනම සටහන් කරගන්න.

ඔය ඔක්කොම වගේ අවසානයට එකතු කරගෙන බලන්න.

මෙහෙම සටහන් කරගෙන මාස කීපයක් කරගෙන යනකොට ,
වෙනස් කරගන්න ඕන තැන් පහසුවෙන් බලාගන්න පුළුවන් .

මේ තමයි මම දෙදාස් දාහත වසරේ සිට දරුවන් දෙදෙනා සහ අපි දෙන්නා වෙනම ගෙදරකට ගියාට පස්සේ සැලසුම් කරලා ක්‍රියාත්මක කල ක්‍රමය .

ඒ විදියට ගෙදර වියදම් ගැන හොඳ අවබෝධයක් ගන්නත් පුළුවන් ,
වෙනස් කරන්න උවමනා තැන් පැහැදිලි කරගන්නත් පුළුවන් .

මට නම් මේක බොහෝම සාර්ථක ගෘහ පරිපාලන ක්‍රමයක්.

සුභ දවසක් හැමෝටම
🤜🤛

( 2020 minimalist living facebook සමූහය වෙනුවෙන් ලියූ සටහනක් සටහනක් )

Categories
Sinhala Categories අවමවාදී පවුල

අවමවාදී පවුලක සතුටු ගමන

අවමවාදීන් ලෙස පවුලක් හැටියට ජීවත් වීමේදී සුදු පැහැති නිවසක් අවශ්‍ය යැයි කියන්නෙ නෑ ..

ඒ කියන්නෙ බඩු මොකුත් නැතුව යන්තම් වතුර බොන්න එක කෝප්පයයි, එක පිඟානයි,
ගෙදර වාඩි වෙන්න පුටුවයි තියෙන්න ඕන වගේ අදහස් ගන්න එපා,

ඔබේ ආර්ථිකය ආදිය එක්ක භෞතික දේවල් වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් .

නමුත් පවුලක් විදියට ප්‍රමාණයට වඩා ගුණාත්මකභාවයට මෙහිදී මුල්තැන දීමයි සිදු කරන්නේ…

පවුලක් විදියට මෙය ක්‍රියාත්මක කරන්න නොහැකියි කියලා කෙනෙක් කීවොත් , ඇත්තටම දරුවන් ඉන්න පවුලක් කියන්නේ අවමවාදී සංකල්පය ක්‍රියාත්මක කරන්න සුදුසුම පවුලක්.

ඒ වගේම තනි පුද්ගලයෙකුට වුණත් !

ආර්ථික වශයෙන් ගත්තත් දරුවන් ඇතුලු පවුලක අවශ්‍යතා වෙනුවෙන් උපයන මුදල එක්ක සතුටින් ඉන්න ලැබෙන්නේ අවමවාදී මිනිසුන්ට.

ඒකට හේතුව තමයි ණය බර අඩු කරගෙන,
ජීවිතේ ප්‍රමුඛතා වලට ඉඩ දීලා ඔලුවටත් බරක් නැතුව නිරවුල් මනසකින් ජීවත් වෙන්න පුළුවන් වෙන එක.

පවුලක් විදියට අවමවාදීන් වෙන්න පවුලේ සාමාජිකයන් සියල්ලටම මනාලෙස පුහුණු කරන ලද සංයමයක් අවශ්‍යයි.

ආධ්‍යාත්මික සුවදායිතාවය විදියට කාගේත් ආගමෙන් ලැබෙන්නේ මීට මනා රුකුලක්.

ඔබේ ආගම කුමක් වුණත් එහි ඇති ධර්මය සත්‍යයක්.
හැම ආගමකම කියා දෙන්නේ සත්‍යය.

අපි වගේම අපේ දරුවන් කුඩා කාලෙ ඉඳන්ම ආගමට දහමට යොමු කිරීම තමයි මෙතනදි ඔවුන්ගෙ මනස හදන්න පුළුවන් පහසුම ක්‍රමය.

මම බෞද්ධයෙක් විදියට මගේ දරුවන් එක්ක පන්සිල් සමාදන්වීම,
පිරිත් සච්ඡායනා කිරීම, භාවනා කිරීමට හුරු කිරීම,
ඒවායේ ආනිශංස කියාදෙමින් මනස ශක්තිමත් කිරීමට දිනපතාම උත්සහ ගන්නවා.

අවමවාදය කියන්නේ අපූරු ගමනක්.!

ගමනාන්තයක් නෙවේ.

ඒ ගමන ආරම්භ කිරීමයි වැදගත් වෙන්නේ